4. 5. 5.
පස්වන ශික්ෂාපදය
1. සැවැත් නුවරදී පැනවූ ශික්ෂාපදයයි – එකල එක්තරා භික්ෂුණියක් ථුල්ලනන්දා භික්ෂුණිය වෙත ගොස් “ආර්යාවෙනි, එන්න, මේ අධිකරණය (සංඝයා විසින් විසඳිය යුතු ආරවුල) සංසිඳුවන්න” යි කීවා ය. ථුල්ලනන්දා භික්ෂුණිය “හොඳයි” යි පොරොන්දු වී එය සංසිඳුවන්නේ ම නැත. සංසිඳුවීම පිණිස උත්සාහයක් ද නොකරයි. එවිට ඒ භික්ෂුණිය භික්ෂුණීන්ට මේ කරුණ දැන්වූවා ය.
2. අල්පේච්ඡ (ආශා අඩු) වූ යම් භික්ෂුණීහු සිටියාහු ද -පෙ- ඔවුහු හෙළා දකිති, නුගුණ කියති, දොස් පතුරුවති: “ආර්යා ථුල්ලනන්දා, භික්ෂුණියක විසින් ‘ආර්යාවෙනි, එන්න, මේ අධිකරණය සංසිඳුවන්න’ යි කියනු ලැබූ කල ‘හොඳයි’ යි පොරොන්දු වී කෙසේ නම් එය සංසිඳුවන්නේ ම නැද්ද? සංසිඳුවීම පිණිස උත්සාහයක් නොකරන්නේ ද?” -පෙ- “මහණෙනි, ථුල්ලනන්දා භික්ෂුණිය, භික්ෂුණියක විසින් ‘ආර්යාවෙනි, එන්න, මේ අධිකරණය සංසිඳුවන්න’ යි කියනු ලැබූ කල ‘හොඳයි’ යි පොරොන්දු වී එය සංසිඳුවන්නේ ම නැති බවත්, සංසිඳුවීම පිණිස උත්සාහයක් නොකරන බවත් සැබෑ ද?” “සැබෑ ය, භාග්‍යවතුන් වහන්ස.” භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ගැරහූ සේක. -පෙ- “මහණෙනි, ථුල්ලනන්දා භික්ෂුණිය, භික්ෂුණියක විසින් ‘ආර්යාවෙනි, එන්න, මේ අධිකරණය සංසිඳුවන්න’ යි කියනු ලැබූ කල ‘හොඳයි’ යි පොරොන්දු වී කෙසේ නම් එය සංසිඳුවන්නේ ම නැද්ද? සංසිඳුවීම පිණිස උත්සාහයක් නොකරන්නේ ද? මහණෙනි, මෙය නොපැහැදුණු අයගේ පැහැදීම පිණිස හෝ නොවේ. -පෙ- මහණෙනි, භික්ෂුණීන් විසින් මේ ශික්ෂාපදය මෙසේ උදෙසිය යුතු ය (ප්‍රකාශ කළ යුතු ය):
“යම් භික්ෂුණියක්, වෙනත් භික්ෂුණියක විසින් ‘ආර්යාවෙනි, එන්න, මේ අධිකරණය සංසිඳුවන්න’ යි කියනු ලැබූ කල ‘හොඳයි’ යි පොරොන්දු වී, පසුව කිසි අනතුරක් නැතිව සිටිය දී, එය සංසිඳුවන්නේ ම නැත්නම්, සංසිඳුවීම පිණිස උත්සාහයක් නොකරයි නම්, ඇයට පාචිත්තිය ඇවැත් වේ” යි.
3. යා පන (යම්): යම්, යම් ආකාර වූ -පෙ- භික්ඛුනී (භික්ෂුණිය) -පෙ- මේ අර්ථයෙහි අදහස් කරන ලද්දේ මේ භික්ෂුණිය යි.
භික්ඛුනියා: වෙනත් භික්ෂුණියක විසින්.
අධිකරණ නම්: විවාදාධිකරණය, අනුවාදාධිකරණය, ආපත්තාධිකරණය, කිච්චාධිකරණය යන අධිකරණ හතරකි.
එහය්‍යෙ ඉමං අධිකරණං වූපසමෙහි: ආර්යාවෙනි, එන්න, මේ අධිකරණය විනිශ්චය කරන්න.
සා පච්ඡා අනන්තරායිකිනී: අනතුරක් නැති කල්හි.
නේව වූපසමෙය්‍ය: තමා ම එය නොසංසිඳුවයි.
න වූපසමාය උස්සුක්කං කරෙය්‍ය: වෙනත් කෙනෙකුට (එය සංසිඳුවන්නට) අණ නොකරයි. “සංසිඳුවන්නේ ම නැත, සංසිඳුවීම පිණිස උත්සාහයක් නොකරමි” යි වගකීම අත්හළ විගස ම පාචිත්තිය ඇවැත් වේ.
උපසම්පදාව ලත් භික්ෂුණියක ගැන, ඇය උපසම්පදාව ලත් අයෙකැයි හඟිමින් අධිකරණය සංසිඳුවන්නේ ම නැත්නම්, සංසිඳුවීම පිණිස උත්සාහයක් නොකරයි නම් පාචිත්තිය ඇවැත් වේ. උපසම්පදාව ලත් භික්ෂුණියක ගැන සැකයෙන් සිට අධිකරණය සංසිඳුවන්නේ ම නැත්නම්, සංසිඳුවීම පිණිස උත්සාහයක් නොකරයි නම් පාචිත්තිය ඇවැත් වේ. උපසම්පදාව ලත් භික්ෂුණියක ගැන, ඇය උපසම්පදාව නොලත් අයෙකැයි හඟිමින් අධිකරණය සංසිඳුවන්නේ ම නැත්නම්, සංසිඳුවීම පිණිස උත්සාහයක් නොකරයි නම් පාචිත්තිය ඇවැත් වේ.