4. 5. 3.
තුන්වන ශික්ෂාපදය
1. සැවැත් නුවරදී පැනවූ ශික්‍ෂාපදයයි – ඒ කාලයෙහි ෂඩ්වර්ගික භික්ෂුණීන් නූල් කටිති. විහාර චාරිකාවේ ඇවිදින මිනිස්සු එය දැක හෙළා දකිති, නුගුණ කියති, දොස් පතුරුවති: “කෙසේ නම් භික්ෂුණීන් කාමසැප විඳින ගිහි කාන්තාවන් මෙන් නූල් කටින්නේ ද?” කියායි.
2. හෙළා දකින, නුගුණ කියන, දොස් පතුරුවන ඒ මිනිසුන්ගේ (අපකීර්තිමත් කතාව) භික්ෂුණීහු ඇසූහ. අල්පේච්ඡ (ආශා අඩු) වූ යම් භික්ෂුණීහු සිටියාහු ද -පෙ- ඔවුහු හෙළා දකිති, නුගුණ කියති, දොස් පතුරුවති: “කෙසේ නම් ෂඩ්වර්ගික භික්ෂුණීන් නූල් කටින්නේ ද?” කියායි. -පෙ- “මහණෙනි, ෂඩ්වර්ගික භික්ෂුණීන් නූල් කටින බව සැබෑ ද?” “සැබෑ ය, භාග්‍යවතුන් වහන්ස.” භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ගැරහූ සේක. -පෙ- “මහණෙනි, කෙසේ නම් ෂඩ්වර්ගික භික්ෂුණීන් නූල් කටින්නේ ද? මහණෙනි, මෙය නොපැහැදුණු අයගේ පැහැදීම පිණිස හෝ නොවේ. -පෙ- මහණෙනි, භික්ෂුණීන් විසින් මේ ශික්ෂාපදය මෙසේ උදෙසිය යුතු ය (ප්‍රකාශ කළ යුතු ය):
“යම් භික්ෂුණියක් නූල් කටියි නම් පාචිත්තිය වේ.”
3. යා පන (යම්): යම්, යම් ආකාර වූ -පෙ- භික්ඛුනී (භික්ෂුණිය) -පෙ- මේ අර්ථයෙහි අදහස් කරන ලද්දේ මේ භික්ෂුණිය යි.
සුත්ත (නූල්) නම්: නූල් වර්ග හයකි. කොමු නූල්, කපු නූල්, සේද නූල්, ලොම් නූල්, හණ නූල්, මිශ්‍ර නූල් යන මේවායි.
කන්තෙය්‍ය (කටියි නම්): තමා ම කටියි නම්, ඒ සඳහා කරන උත්සාහයන්හි දුක්කට ඇවැත් වේ. නූල් ඇද ඇද නූල් කටුවේ ඔතන කල්හි (අතින් ඇද ගත් තරමේ නූල් කොටසක් නූල් කටුවේ එතූ වාරයක් පාසා) පාචිත්තිය ඇවැත් වේ.
ඇවැත් නැත: කටින ලද නූලක් නැවත කටියි නම් ඇවැත් නැත. සිහි විකල් වූවෙකුට ද -පෙ- මුලින්ම මේ වරද කළ තැනැත්තාට (ආදිකම්මිකයාට) ද ඇවැත් නැත.
තුන්වන ශික්ෂාපදය යි.
4. 5. 4.
හතරවන ශික්ෂාපදය
1. සැවැත් නුවරදී පැනවූ ශික්‍ෂාපදයයි – ඒ කාලයෙහි භික්ෂුණීහු ගිහියන්ට වතාවත් කරති. අල්පේච්ඡ (ආශා අඩු) වූ යම් භික්ෂුණීහු සිටියාහු ද -පෙ- ඔවුහු හෙළා දකිති, නුගුණ කියති, දොස් පතුරුවති: “කෙසේ නම් භික්ෂුණීන් ගිහියන්ට වතාවත් කරන්නේ ද?” කියායි. -පෙ- “මහණෙනි, භික්ෂුණීන් ගිහියන්ට වතාවත් කරන බව සැබෑ ද?” “සැබෑ ය, භාග්‍යවතුන් වහන්ස.” භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ගැරහූ සේක. -පෙ- “මහණෙනි, කෙසේ නම් භික්ෂුණීන් ගිහියන්ට වතාවත් කරන්නේ ද? මහණෙනි, මෙය නොපැහැදුණු අයගේ පැහැදීම පිණිස හෝ නොවේ. -පෙ- මහණෙනි, භික්ෂුණීන් විසින් මේ ශික්ෂාපදය මෙසේ උදෙසිය යුතු ය (ප්‍රකාශ කළ යුතු ය):
“යම් භික්ෂුණියක් ගිහියන්ට වතාවත් කරයි නම් පාචිත්තිය වේ.”
2. යා පන (යම්): යම්, යම් ආකාර වූ -පෙ- භික්ඛුනී (භික්ෂුණිය) -පෙ- මේ අර්ථයෙහි අදහස් කරන ලද්දේ මේ භික්ෂුණිය යි.
ගිහීවෙය්යාවච්ච (ගිහියන්ට වතාවත් කිරීම) නම්: ගිහියකුට කැඳක් හෝ බතක් හෝ කෑ යුතු දෙයක් හෝ පිසියි නම්, සළුවක් හෝ හිස් වෙළුමක් හෝ සෝදයි නම් පාචිත්තිය ඇවැත් වේ.
ඇවැත් නැත: කැඳ දානයේදී (සංඝයා උදෙසා මිනිසුන් කරන කැඳ දානයේදී උදව් වශයෙන්), සංඝයාට දෙන බත් දානයේදී, චෛත්‍ය පූජාවේදී, තමාට වතාවත් කරන්නාට කැඳක් හෝ බතක් හෝ කෑ යුතු දෙයක් හෝ පිසියි නම්, සළුවක් හෝ හිස් වෙළුමක් හෝ සෝදයි නම් ඇවැත් නැත. සිහි විකල් වූවෙකුට ද -පෙ- මුලින්ම මේ වරද කළ තැනැත්තාට (ආදිකම්මිකයාට) ද ඇවැත් නැත.
හතරවන ශික්ෂාපදය යි.
4. 5. 5.
පස්වන ශික්ෂාපදය
1. සැවැත් නුවරදී පැනවූ ශික්‍ෂාපදයයි – එකල එක්තරා භික්ෂුණියක් ථුල්ලනන්දා භික්ෂුණිය වෙත ගොස් “ආර්යාවෙනි, එන්න, මේ අධිකරණය (සංඝයා විසින් විසඳිය යුතු ආරවුල) සංසිඳුවන්න” යි කීවා ය. ථුල්ලනන්දා භික්ෂුණිය “හොඳයි” යි පොරොන්දු වී එය සංසිඳුවන්නේ ම නැත. සංසිඳුවීම පිණිස උත්සාහයක් ද නොකරයි. එවිට ඒ භික්ෂුණිය භික්ෂුණීන්ට මේ කරුණ දැන්වූවා ය.