4. 4. 4.
හතරවන ශික්ෂාපදය
1. සැවැත් නුවරදී පැනවූ ශික්‍ෂාපදයයි – ඒ කාලයේ ථුල්ලනන්දා භික්ෂුණිය දුකට පත් වූ තම සහජීවිනියට (තමා ළඟ උපසම්පදාව ලැබූ ශිෂ්‍ය භික්ෂුණියට) තමා ම උපස්ථාන නොකරයි. උපස්ථාන කරවීමට උත්සාහයක් ද නොකරයි.
2. අල්පේච්ඡ (ආශා අඩු) යම් ඒ භික්ෂුණීහු වූවාහු ද -පෙ- ඔවුහු “කෙසේ නම් ආර්යා ථුල්ලනන්දා දුකට පත් වූ සහජීවිනියට තමා ම උපස්ථාන නොකරන්නී ද? උපස්ථාන කරවීමට උත්සාහයක් නොකරන්නී ද?” කියා හෙළා දකිති, නුගුණ කියති, දොස් පතුරුවති. -පෙ- “මහණෙනි, ථුල්ලනන්දා භික්ෂුණිය දුකට පත් වූ සහජීවිනියට තමා ම උපස්ථාන නොකරන බවත්, උපස්ථාන කරවීමට උත්සාහයක් නොකරන බවත් සැබෑ ද?” “සැබෑ ය, භාග්‍යවතුන් වහන්ස.” භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ගැරහූ සේක. -පෙ- “මහණෙනි, කෙසේ නම් ථුල්ලනන්දා භික්ෂුණිය දුකට පත් වූ සහජීවිනියට තමා ම උපස්ථාන නොකරන්නී ද? උපස්ථාන කරවීමට උත්සාහයක් නොකරන්නී ද? මහණෙනි, මෙය නොපැහැදුණු අයගේ පැහැදීම පිණිස හෝ නොවෙයි -පෙ- මහණෙනි, භික්ෂුණීහු මේ ශික්ෂාපදය මෙසේ උදෙසත්වා:
“යම් භික්ෂුණියක් දුකට පත් වූ සහජීවිනියට තමා ම උපස්ථාන නොකරයි නම්, උපස්ථාන කරවීමට උත්සාහයක් නොකරයි නම් පාචිත්තිය වේ” යනුයි.
3. යා පන (යම්): යම්, යම් බඳු -පෙ- භික්ඛුනී (භික්ෂුණිය): -පෙ- මේ අර්ථයෙහි අදහස් කරන ලද්දේ මේ භික්ෂුණිය යි.
දුක්ඛිතා නම්: ගිලන් වූ තැනැත්තිය යැයි කියනු ලැබේ.
සහජීවිනී නම්: සද්ධිවිහාරිනී (තමා ළඟ උපසම්පදාව ලැබූ ශිෂ්‍ය භික්ෂුණිය) යැයි කියනු ලැබේ.
නෙව උපට්ඨෙය්‍ය: තමා ම උපස්ථාන නොකරයි.
න උපට්ඨාපනාය උස්සුක්කං කරෙය්ය: අනිකෙකුට අණ නොකරයි. “උපස්ථාන නොකරන්නෙමි, උපස්ථාන කරවීමට උත්සාහයක් ද නොකරන්නෙමි” යි වගකීම බැහැර කළ විගසම පාචිත්තිය ඇවැත් වේ. අතවැසි භික්ෂුණියකට හෝ උපසම්පදාව නොලත් තැනැත්තියකට හෝ උපස්ථාන නොකරයි නම්, උපස්ථාන කරවීමට උත්සාහයක් නොකරයි නම් දුක්කට ඇවැත් වේ.
ඇවැත් නැත: අනතුරක් ඇති කල්හි, සොයා බැලුව ද (උපස්ථාන කිරීමට වෙනත් කෙනෙක්) නොලැබේ නම්, (තමා ම) ගිලන් වූ තැනැත්තියට, ආපදාවලදී, සිහි විකල් වූවෙකුට ද -පෙ- මුලින්ම මේ වරද කළ තැනැත්තාට (ආදිකම්මිකයාට) ද ඇවැත් නැත.
හතරවන ශික්ෂාපදය යි.
4. 4. 5.
පස්වන ශික්ෂාපදය
1. සැවැත් නුවරදී පැනවූ ශික්‍ෂාපදයයි – ඒ කාලයේ භද්දා කාපිලානී භික්ෂුණිය සාකේත නුවර වස් එළැඹ සිටියාය. ඇය කිසියම් කරුණකින් පීඩාවට පත් වී ථුල්ලනන්දා භික්ෂුණිය වෙත පණිවිඩකරුවෙකු යැවූවාය: “ආර්යා ථුල්ලනන්දා මට අසපුවක් දෙන්නී නම් මම සැවැත් නුවරට එන්නෙමි” යි. ථුල්ලනන්දා භික්ෂුණිය “එත්වා, දෙන්නෙමි” යි මෙසේ කීවාය. එවිට භද්දා කාපිලානී භික්ෂුණිය සාකේත නුවරින් සැවැත් නුවරට පැමිණියාය. ථුල්ලනන්දා භික්ෂුණිය භද්දා කාපිලානියට අසපුවක් දුන්නාය. ඒ කාලයේ ථුල්ලනන්දා භික්ෂුණිය බොහෝ දහම් ඇසූ, බණ කීමට හුරු වූ, බියක් නැති, දහම් කථා කීමට දක්ෂ තැනැත්තියක් වූවාය. භද්දා කාපිලානී භික්ෂුණිය ද බොහෝ දහම් ඇසූ, බණ කීමට හුරු වූ, බියක් නැති, දහම් කථා කීමට දක්ෂ, ඉතා ගෞරවයට පත් තැනැත්තියක් වූවාය. මිනිස්සු “ආර්යා භද්දා කාපිලානී බොහෝ දහම් ඇසූ, බණ කීමට හුරු වූ, බියක් නැති, දහම් කථා කීමට දක්ෂ, ඉතා ගෞරවයට පත් තැනැත්තියකැ” යි සිතා, පළමුව භද්දා කාපිලානිය වෙත ගොස් ඇසුරු කොට, පසුව ථුල්ලනන්දා භික්ෂුණිය වෙත ගොස් ඇසුරු කරති. ථුල්ලනන්දා භික්ෂුණිය ඊර්ෂ්‍යාවෙන් යටපත් වී, “බොහෝ සෙයින් (දවස පුරා මහජනයාට) කරුණු හඟවමින් ද, බොහෝ සෙයින් ඉල්ලීම් කරමින් ද වාසය කරන මොවුන් අල්පේච්ඡ (ආශා අඩු) අය ලු, ලද දෙයින් සතුටු වන අය ලු, හුදෙකලාව වසන අය ලු, ගිහියන් හා මුසු නොවන අය ලු” යි කිපී නොසතුටු වී භද්දා කාපිලානිය අසපුවෙන් ඇද දැමුවාය.