4. 4. 5.
පස්වන ශික්ෂාපදය
1. සැවැත් නුවරදී පැනවූ ශික්ෂාපදයයි – ඒ කාලයේ භද්දා කාපිලානී භික්ෂුණිය සාකේත නුවර වස් එළැඹ සිටියාය. ඇය කිසියම් කරුණකින් පීඩාවට පත් වී ථුල්ලනන්දා භික්ෂුණිය වෙත පණිවිඩකරුවෙකු යැවූවාය: “ආර්යා ථුල්ලනන්දා මට අසපුවක් දෙන්නී නම් මම සැවැත් නුවරට එන්නෙමි” යි. ථුල්ලනන්දා භික්ෂුණිය “එත්වා, දෙන්නෙමි” යි මෙසේ කීවාය. එවිට භද්දා කාපිලානී භික්ෂුණිය සාකේත නුවරින් සැවැත් නුවරට පැමිණියාය. ථුල්ලනන්දා භික්ෂුණිය භද්දා කාපිලානියට අසපුවක් දුන්නාය. ඒ කාලයේ ථුල්ලනන්දා භික්ෂුණිය බොහෝ දහම් ඇසූ, බණ කීමට හුරු වූ, බියක් නැති, දහම් කථා කීමට දක්ෂ තැනැත්තියක් වූවාය. භද්දා කාපිලානී භික්ෂුණිය ද බොහෝ දහම් ඇසූ, බණ කීමට හුරු වූ, බියක් නැති, දහම් කථා කීමට දක්ෂ, ඉතා ගෞරවයට පත් තැනැත්තියක් වූවාය. මිනිස්සු “ආර්යා භද්දා කාපිලානී බොහෝ දහම් ඇසූ, බණ කීමට හුරු වූ, බියක් නැති, දහම් කථා කීමට දක්ෂ, ඉතා ගෞරවයට පත් තැනැත්තියකැ” යි සිතා, පළමුව භද්දා කාපිලානිය වෙත ගොස් ඇසුරු කොට, පසුව ථුල්ලනන්දා භික්ෂුණිය වෙත ගොස් ඇසුරු කරති. ථුල්ලනන්දා භික්ෂුණිය ඊර්ෂ්‍යාවෙන් යටපත් වී, “බොහෝ සෙයින් (දවස පුරා මහජනයාට) කරුණු හඟවමින් ද, බොහෝ සෙයින් ඉල්ලීම් කරමින් ද වාසය කරන මොවුන් අල්පේච්ඡ (ආශා අඩු) අය ලු, ලද දෙයින් සතුටු වන අය ලු, හුදෙකලාව වසන අය ලු, ගිහියන් හා මුසු නොවන අය ලු” යි කිපී නොසතුටු වී භද්දා කාපිලානිය අසපුවෙන් ඇද දැමුවාය.
2. අල්පේච්ඡ (ආශා අඩු) යම් ඒ භික්ෂුණීහු වූවාහු ද -පෙ- ඔවුහු “කෙසේ නම් ආර්යා ථුල්ලනන්දා ආර්යා භද්දා කාපිලානියට අසපුවක් දී, කිපී නොසතුටු වී ඇය ඇද දමන්නී ද?” කියා හෙළා දකිති, නුගුණ කියති, දොස් පතුරුවති. -පෙ- “මහණෙනි, ථුල්ලනන්දා භික්ෂුණිය භද්දා කාපිලානියට අසපුවක් දී, කිපී නොසතුටු වී ඇය ඇද දැමූ බව සැබෑ ද?” “සැබෑ ය, භාග්‍යවතුන් වහන්ස.” භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ගැරහූ සේක. -පෙ- “මහණෙනි, කෙසේ නම් ථුල්ලනන්දා භික්ෂුණිය භද්දා කාපිලානියට අසපුවක් දී, කිපී නොසතුටු වී ඇය ඇද දමන්නී ද? මහණෙනි, මෙය නොපැහැදුණු අයගේ පැහැදීම පිණිස හෝ නොවෙයි -පෙ- මහණෙනි, භික්ෂුණීහු මේ ශික්ෂාපදය මෙසේ උදෙසත්වා:
“යම් භික්ෂුණියක් වෙනත් භික්ෂුණියකට අසපුවක් දී, කිපී නොසතුටු වී ඇය ඇද දමයි නම් හෝ ඇද දමවයි නම් හෝ පාචිත්තිය වේ” යනුයි.
3. යා පන (යම්): යම්, යම් බඳු -පෙ- භික්ඛුනී (භික්ෂුණිය): -පෙ- මේ අර්ථයෙහි අදහස් කරන ලද්දේ මේ භික්ෂුණිය යි.
භික්ඛුනියා: වෙනත් භික්ෂුණියකට.
උපස්සය (අසපුව) නම්: දොර පියන් සවි කළ තැනක් යැයි කියනු ලැබේ.
දත්වා: තමා ම දී.
කුපිතා අනත්තමනා: නොසතුටු වූ, කිපුණු සිත් ඇති, හිතේ ක්‍රෝධය හටගත් තැනැත්තිය.
නික්කඩ්ඪෙය්‍ය: කාමරය තුළදී අල්ලාගෙන ඉදිරිපස මණ්ඩපයට ඇද දමයි නම් පාචිත්තිය ඇවැත් වේ. ඉදිරිපස මණ්ඩපයේදී අල්ලාගෙන පිටතට ඇද දමයි නම් පාචිත්තිය ඇවැත් වේ. එක් ක්‍රියාවකින් දොරවල් බොහොමයක් පසු කරවයි නම් වුව ද පාචිත්තිය ඇවැත් වේ.
නික්කඩ්ඪාපෙය්‍ය: අනිකෙකුට අණ කරයි නම් දුක්කට ඇවැත් වේ. එක් වරක් අණ කරන ලද තැනැත්තිය දොරවල් බොහොමයක් පසු කරවයි නම් වුව ද පාචිත්තිය ඇවැත් වේ. උපසම්පදාව ලත් තැනැත්තියක කෙරෙහි උපසම්පදාව ලත් තැනැත්තියක යැයි හඟින්නී අසපුවක් දී, කිපී නොසතුටු වී ඇද දමයි නම් හෝ ඇද දමවයි නම් හෝ පාචිත්තිය ඇවැත් වේ. උපසම්පදාව ලත් තැනැත්තියක කෙරෙහි සැක ඇත්තී අසපුවක් දී, කිපී නොසතුටු වී ඇද දමයි නම් හෝ ඇද දමවයි නම් හෝ පාචිත්තිය ඇවැත් වේ. උපසම්පදාව ලත් තැනැත්තියක කෙරෙහි උපසම්පදාව නොලත් තැනැත්තියක යැයි හඟින්නී අසපුවක් දී, කිපී නොසතුටු වී ඇද දමයි නම් හෝ ඇද දමවයි නම් හෝ පාචිත්තිය ඇවැත් වේ.