4. 4. 3.
තුන්වන ශික්ෂාපදය
1. සැවැත් නුවරදී පැනවූ ශික්‍ෂාපදයයි – ඒ කාලයේ ථුල්ලනන්දා භික්ෂුණිය බොහෝ ඇසූ පිරූ තැන් ඇත්තී, බණ දහම් කීමට පුරුදු වූවා, බිය නැත්තී, දැහැමි කථා කිරීමට ඉතා දක්ෂ වූවා වෙයි. භද්දා කාපිලානී භික්ෂුණිය ද බොහෝ ඇසූ පිරූ තැන් ඇත්තී, බණ දහම් කීමට පුරුදු වූවා, බිය නැත්තී, දැහැමි කථා කිරීමට ඉතා දක්ෂ වූවා, උසස් කෙනෙකු ලෙස පිළිගැනුණා වෙයි. මිනිස්සු “ආර්යා භද්දා කාපිලානී භික්ෂුණිය බොහෝ ඇසූ පිරූ තැන් ඇත්තී, බණ දහම් කීමට පුරුදු වූවා, බිය නැත්තී, දැහැමි කථා කිරීමට ඉතා දක්ෂ වූවා, උසස් කෙනෙකු ලෙස පිළිගැනුණා වෙයි” කියා, භද්දා කාපිලානිය වෙත පළමුව ගොස් ඇසුරු කොට, පසුව ථුල්ලනන්දා භික්ෂුණිය ඇසුරු කරති. ථුල්ලනන්දා භික්ෂුණිය ඊර්ෂ්‍යාවෙන් යටපත් වූවා “බොහෝ සෙයින් (දවස පුරා මහජනයාට) කරුණු හඟවමින් ද, බොහෝ සෙයින් ඉල්ලීම් කරමින් ද වාසය කරන මොවුන් අල්පේච්ඡ (ආශා අඩු) අය ලු, ලද දෙයින් සතුටු වන අය ලු, හුදෙකලාව වසන අය ලු, (ගිහියන් හා) මුසු නොවන අය ලු!” කියා භද්දා කාපිලානියගේ ඉදිරියෙහි සක්මන් ද කරයි, සිටීම ද කරයි, හිඳීම ද කරයි, නිදීම ද කරයි, උදෙසීම (පාඩම් කියා දීම) ද කරයි, උදෙසවා ගැනීම (පාඩම් කියවා ගැනීම) ද කරයි, සජ්ඣායනාව (හඬ නගා පාඩම් කිරීම) ද කරයි.
2. යම් ඒ භික්ෂුණීහු අල්පේච්ඡ (ආශා අඩු) වූවෝ ද -පෙ- ඔවුහු හෙළා දකිති, නුගුණ කියති, දොස් පතුරුවති: “කෙසේ නම් ආර්යා ථුල්ලනන්දා ආර්යා භද්දා කාපිලානියට දැන දැනම අපහසුවක් කරන්නී ද?” කියා. -පෙ- “මහණෙනි, ථුල්ලනන්දා භික්ෂුණිය භද්දා කාපිලානියට දැන දැනම අපහසුවක් කරන්නී යැයි කියන්නේ සැබෑ ද?” “සැබෑ ය, භාග්‍යවතුන් වහන්ස.” භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ගැරහූ සේක: -පෙ- “මහණෙනි, කෙසේ නම් ථුල්ලනන්දා භික්ෂුණිය භද්දා කාපිලානියට දැන දැනම අපහසුවක් කරන්නී ද? මහණෙනි, මෙය නොපැහැදුණවුන්ගේ පැහැදීම පිණිස හෝ නොවෙයි. -පෙ- මහණෙනි, භික්ෂුණීහු මේ ශික්ෂාපදය මෙසේ උදෙසත්වා:
“යම් භික්ෂුණියක් භික්ෂුණියකට දැන දැනම අපහසුවක් කරයි නම් පාචිත්තිය ඇවැත් වේ” යයි.
3. යා පන (යම්): යම්, යම් බඳු -පෙ- භික්ඛුනී (භික්ෂුණිය): -පෙ- මේ අර්ථයෙහි අදහස් කරන ලද්දේ මේ භික්ෂුණිය යි.
භික්ඛුනියා (භික්ෂුණියකට): වෙනත් භික්ෂුණියකට.
සඤ්චිච්ච (දැන දැනම): දන්නී, හොඳින් දන්නී, සිතා, නිසැක සිතින් මෙහෙයවා කරන වරද (ඉක්මවීම) යි.
අඵාසුං කරෙය්ය (අපහසුවක් කරයි නම්): “මෙයින් මැයට අපහසුවක් වන්නේය” කියා, නොවිචාරා ඉදිරියෙහි සක්මන් කරයි නම් හෝ, සිටියි නම් හෝ, හිඳියි නම් හෝ, නිදයි නම් හෝ, උදෙසයි නම් හෝ, උදෙසවා ගනියි නම් හෝ, සජ්ඣායනා කරයි නම් හෝ පාචිත්තිය ඇවැත් වේ.
උපසම්පදාව ලත් තැනැත්තියක කෙරෙහි උපසම්පදාව ලත් තැනැත්තියක යැයි හඟින්නී දැන දැනම අපහසුවක් කරයි නම් පාචිත්තිය ඇවැත් වේ. උපසම්පදාව ලත් තැනැත්තියක කෙරෙහි සැක ඇත්තී දැන දැනම අපහසුවක් කරයි නම් පාචිත්තිය ඇවැත් වේ. උපසම්පදාව ලත් තැනැත්තියක කෙරෙහි උපසම්පදාව නොලත් තැනැත්තියක යැයි හඟින්නී දැන දැනම අපහසුවක් කරයි නම් පාචිත්තිය ඇවැත් වේ.
උපසම්පදාව නොලත් තැනැත්තියකට දැන දැනම අපහසුවක් කරයි නම් දුක්කට ඇවැත් වේ. උපසම්පදාව නොලත් තැනැත්තියක කෙරෙහි උපසම්පදාව ලත් තැනැත්තියක යැයි හඟින්නී නම් දුක්කට ඇවැත් වේ. උපසම්පදාව නොලත් තැනැත්තියක කෙරෙහි සැක ඇත්තී නම් දුක්කට ඇවැත් වේ. උපසම්පදාව නොලත් තැනැත්තියක කෙරෙහි උපසම්පදාව නොලත් තැනැත්තියක යැයි හඟින්නී නම් දුක්කට ඇවැත් වේ.
ඇවැත් නැත: අපහසුවක් කිරීමට කැමැති නොවූවා නම්, විචාරා ඉදිරියෙහි සක්මන් කරයි නම් හෝ, සිටියි නම් හෝ, හිඳියි නම් හෝ, නිදයි නම් හෝ, උදෙසයි නම් හෝ, උදෙසවා ගනියි නම් හෝ, සජ්ඣායනා කරයි නම් හෝ, සිහි විකල් වූවෙකුට ද -පෙ- මුලින්ම මේ වරද කළ තැනැත්තාට (ආදිකම්මිකයාට) ද ඇවැත් නැත.
තුන්වන ශික්ෂාපදය යි.
4. 4. 4.
හතරවන ශික්ෂාපදය
1. සැවැත් නුවරදී පැනවූ ශික්‍ෂාපදයයි – ඒ කාලයේ ථුල්ලනන්දා භික්ෂුණිය දුකට පත් වූ තම සහජීවිනියට (තමා ළඟ උපසම්පදාව ලැබූ ශිෂ්‍ය භික්ෂුණියට) තමා ම උපස්ථාන නොකරයි. උපස්ථාන කරවීමට උත්සාහයක් ද නොකරයි.
2. අල්පේච්ඡ (ආශා අඩු) යම් ඒ භික්ෂුණීහු වූවාහු ද -පෙ- ඔවුහු “කෙසේ නම් ආර්යා ථුල්ලනන්දා දුකට පත් වූ සහජීවිනියට තමා ම උපස්ථාන නොකරන්නී ද? උපස්ථාන කරවීමට උත්සාහයක් නොකරන්නී ද?” කියා හෙළා දකිති, නුගුණ කියති, දොස් පතුරුවති. -පෙ- “මහණෙනි, ථුල්ලනන්දා භික්ෂුණිය දුකට පත් වූ සහජීවිනියට තමා ම උපස්ථාන නොකරන බවත්, උපස්ථාන කරවීමට උත්සාහයක් නොකරන බවත් සැබෑ ද?” “සැබෑ ය, භාග්‍යවතුන් වහන්ස.” භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ගැරහූ සේක. -පෙ- “මහණෙනි, කෙසේ නම් ථුල්ලනන්දා භික්ෂුණිය දුකට පත් වූ සහජීවිනියට තමා ම උපස්ථාන නොකරන්නී ද? උපස්ථාන කරවීමට උත්සාහයක් නොකරන්නී ද? මහණෙනි, මෙය නොපැහැදුණු අයගේ පැහැදීම පිණිස හෝ නොවෙයි -පෙ- මහණෙනි, භික්ෂුණීහු මේ ශික්ෂාපදය මෙසේ උදෙසත්වා:
“යම් භික්ෂුණියක් දුකට පත් වූ සහජීවිනියට තමා ම උපස්ථාන නොකරයි නම්, උපස්ථාන කරවීමට උත්සාහයක් නොකරයි නම් පාචිත්තිය වේ” යනුයි.
3. යා පන (යම්): යම්, යම් බඳු -පෙ- භික්ඛුනී (භික්ෂුණිය): -පෙ- මේ අර්ථයෙහි අදහස් කරන ලද්දේ මේ භික්ෂුණිය යි.