4. 3. 9.
නවවන ශික්ෂාපදය
1. සැවැත් නුවරදී පැනවූ ශික්‍ෂාපදයයි – ඒ කාලයෙහි ථුල්ලනන්දා භික්ෂුණියට උපස්ථාන කරන පවුල ථුල්ලනන්දා භික්ෂුණියට මෙසේ කීය: “ආර්යාවෙනි, අපට හැකි වුවහොත් අපි භික්ෂුණී සංඝයාට සිවුරක් දෙන්නෙමු” යි. ඒ කාලයෙහි වස් වසා අවසන් කළ භික්ෂුණීහු සිවුරු බෙදීමට කැමති ව රැස් වූහ. ථුල්ලනන්දා භික්ෂුණිය ඒ භික්ෂුණීන්ට මෙසේ කීවා ය: “ආර්යාවෙනි, ටිකක් ඉවසන්න; භික්ෂුණී සංඝයාට සිවුරක් ලැබේ ය යන බලාපොරොත්තුවක් ඇත” යි. භික්ෂුණීහු ථුල්ලනන්දා භික්ෂුණියට මෙසේ කීහ: “ආර්යාවෙනි, ගොස් ඒ සිවුර ගැන දැනගන්න” යි. ථුල්ලනන්දා භික්ෂුණිය ඒ පවුල වෙත ගියා ය. ගොස් ඒ මිනිසුන්ට මෙසේ කීවා ය: “ඇවැත්නි, භික්ෂුණී සංඝයාට සිවුරක් දෙන්න” යි. “ආර්යාවෙනි, අපට භික්ෂුණී සංඝයාට සිවුරක් දෙන්නට නොහැකි ය” යි. ථුල්ලනන්දා භික්ෂුණිය භික්ෂුණීන්ට මේ කරුණ දැන්වූවා ය.
2. අල්පේච්ඡ (ආශා අඩු) යම් භික්ෂුණීහු වූවාහු ද -පෙ- ඔව්හු හෙළා දකිති, නුගුණ කියති, දොස් පතුරුවති: “කෙසේ නම් ආර්යා ථුල්ලනන්දා සිවුරක් ලැබේ ය යන දුබල බලාපොරොත්තුවෙන් සිවුරු කාලය (චීවරකාලසමය) ඉක්මවන්නී ද?” යි. -පෙ- “මහණෙනි, ථුල්ලනන්දා භික්ෂුණිය සිවුරක් ලැබේ ය යන දුබල බලාපොරොත්තුවෙන් සිවුරු කාලය ඉක්මවූවා ය යනු සැබෑ ද?” “සැබෑ ය, භාග්‍යවතුන් වහන්ස.” භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ගැරහූ සේක. -පෙ- “මහණෙනි, කෙසේ නම් ථුල්ලනන්දා භික්ෂුණිය සිවුරක් ලැබේ ය යන දුබල බලාපොරොත්තුවෙන් සිවුරු කාලය ඉක්මවන්නී ද? මහණෙනි, මෙය නොපැහැදුණු අයගේ පැහැදීම පිණිස නොවේ. -පෙ- මහණෙනි, භික්ෂුණීහු මේ ශික්ෂාපදය මෙසේ උදෙසත්වා:
“යම් භික්ෂුණියක් සිවුරක් ලැබේ ය යන දුබල බලාපොරොත්තුවෙන් සිවුරු කාලය ඉක්මවයි නම් පාචිත්තිය වේ” යි.
3. යා පන (යම්): යම්, යම් බඳු -පෙ- භික්ඛුනී (භික්ෂුණිය): -පෙ- මේ අර්ථයෙහි අදහස් කරන ලද්දේ මේ භික්ෂුණිය යි.
දුබ්බලචීවරපච්චාසා (සිවුරක් ලැබේ ය යන දුබල බලාපොරොත්තුව) නම්: “අපට හැකි වුවහොත් දෙන්නෙමු, කරන්නෙමු” යි වචනයෙන් කියා තිබීම යි.
චීවරකාලසමය (සිවුරු කාලය) නම්: කඨිනය නොඅතුළ කල්හි වස් කාලයේ අවසාන මාසය යි. කඨිනය අතුළ කල්හි මාස පහ යි.
චීවරකාලසමයං අතික්කාමෙය්ය (සිවුරු කාලය ඉක්මවයි නම්) යනු: කඨිනය නොඅතුළ කල්හි වස් කාලයේ අවසාන දවස ඉක්මවයි නම් පාචිත්තිය ඇවැත් වේ. කඨිනය අතුළ කල්හි කඨිනය උදුරන (අවසන් කරන) දවස ඉක්මවයි නම් පාචිත්තිය ඇවැත් වේ.
දුබල බලාපොරොත්තුවක් ඇති සිවුරක් ගැන එය දුබල යැයි හඟිමින් සිවුරු කාලය ඉක්මවයි නම් පාචිත්තිය ඇවැත් වේ. දුබල බලාපොරොත්තුවක් ඇති සිවුරක් ගැන සැක ඇති ව සිවුරු කාලය ඉක්මවයි නම් දුක්කට ඇවැත් වේ. දුබල බලාපොරොත්තුවක් ඇති සිවුරක් ගැන එය දුබල නොවේ යැයි හඟිමින් සිවුරු කාලය ඉක්මවයි නම් ඇවැත් නැත.
දුබල නොවූ බලාපොරොත්තුවක් ඇති සිවුරක් ගැන එය දුබල යැයි හඟී නම් දුක්කට ඇවැත් වේ. දුබල නොවූ බලාපොරොත්තුවක් ඇති සිවුරක් ගැන සැක ඇත්තී නම් දුක්කට ඇවැත් වේ. දුබල නොවූ බලාපොරොත්තුවක් ඇති සිවුරක් ගැන එය දුබල නොවේ යැයි හඟී නම් ඇවැත් නැත.
ඇවැත් නැත: ප්‍රයෝජන (ආනිසංස) පෙන්වා දී වළක්වයි නම්, සිහි විකල් වූවෙකුට ද -පෙ- මුලින්ම මේ වරද කළ තැනැත්තාට (ආදිකම්මිකයාට) ද ඇවැත් නැත.
නවවන ශික්ෂාපදය යි.
4. 3. 10.
දසවන ශික්ෂාපදය
1. සැවැත් නුවරදී පැනවූ ශික්‍ෂාපදයයි – එකල එක්තරා උපාසකයෙක් සංඝයා උදෙසා විහාරයක් කරවා තිබුණේ ය. ඔහු ඒ විහාරයේ පූජෝත්සවයේ දී දෙපක්ෂයේ සංඝයාට (භික්ෂු සංඝයාටත් භික්ෂුණී සංඝයාටත්) අකාල සිවුරක් දෙන්නට කැමති විය. එකල දෙපක්ෂයේ සංඝයා විසින් කඨිනය අතුරා තිබුණි. එවිට ඒ උපාසකයා සංඝයා වෙත ගොස් කඨිනය උදුරා දමන ලෙස ඉල්ලී ය. භික්ෂූන් වහන්සේලා භාග්‍යවතුන් වහන්සේට මේ කරුණ දැන්වූහ. එවිට භාග්‍යවතුන් වහන්සේ මේ කරුණෙහි, මේ අවස්ථාවෙහි ධර්ම කතාවක් කොට භික්ෂූන් ඇමතූ සේක: “මහණෙනි, කඨිනය උදුරා දමන්නට අනුමත කරමි. මහණෙනි, මෙසේ කඨිනය උදුරා දැමිය යුතු ය. දක්ෂ වූ, හැකියාව ඇති භික්ෂුවක් විසින් සංඝයාට දැනුම් දිය යුතු ය.”
2. “ස්වාමීනි, සංඝයා මාගේ වචනය අසත්වා. ඉදින් සංඝයාට සුදුසු කාලය නම්, සංඝයා කඨිනය උදුරා දමන්නේ ය. මෙය ඥප්තිය (සංඝයාට කරන දැනුම් දීම) යි.
ස්වාමීනි, සංඝයා මාගේ වචනය අසත්වා. සංඝයා කඨිනය උදුරා දමයි. කඨිනය උදුරා දැමීම යම් ආයුෂ්මත් කෙනෙකුට කැමති නම්, ඔහු නිහඬ වන්නේ ය. යමෙකුට කැමති නැත්නම් ඔහු කියන්නේ ය. සංඝයා විසින් කඨිනය උදුරා දමන ලදී. සංඝයාට එය කැමති ය. එහෙයින් නිහඬ ය. මෙය මෙසේ දරමි.”
3. ඉක්බිති ඒ උපාසකයා භික්ෂුණී සංඝයා වෙත ගොස් කඨිනය උදුරා දමන ලෙස ඉල්ලී ය. ථුල්ලනන්දා භික්ෂුණිය “සිවුර අපට ලැබෙන්නේ ය” යි සිතා කඨිනය උදුරා දැමීම වැළැක්වූවා ය. එවිට ඒ උපාසකයා හෙළා දකියි, නුගුණ කියයි, දොස් පතුරුවයි: “කෙසේ නම් භික්ෂුණීහු අපට කඨිනය උදුරා දැමීම නොදෙත් ද?” කියා. හෙළා දකින, නුගුණ කියන, දොස් පතුරුවන ඒ උපාසකයාගේ (අපකීර්තිය දනවන වචන) භික්ෂුණීහු ඇසූහ.