4. 3. 10.
දසවන ශික්ෂාපදය
1. සැවැත් නුවරදී පැනවූ ශික්ෂාපදයයි – එකල එක්තරා උපාසකයෙක් සංඝයා උදෙසා විහාරයක් කරවා තිබුණේ ය. ඔහු ඒ විහාරයේ පූජෝත්සවයේ දී දෙපක්ෂයේ සංඝයාට (භික්ෂු සංඝයාටත් භික්ෂුණී සංඝයාටත්) අකාල සිවුරක් දෙන්නට කැමති විය. එකල දෙපක්ෂයේ සංඝයා විසින් කඨිනය අතුරා තිබුණි. එවිට ඒ උපාසකයා සංඝයා වෙත ගොස් කඨිනය උදුරා දමන ලෙස ඉල්ලී ය. භික්ෂූන් වහන්සේලා භාග්‍යවතුන් වහන්සේට මේ කරුණ දැන්වූහ. එවිට භාග්‍යවතුන් වහන්සේ මේ කරුණෙහි, මේ අවස්ථාවෙහි ධර්ම කතාවක් කොට භික්ෂූන් ඇමතූ සේක: “මහණෙනි, කඨිනය උදුරා දමන්නට අනුමත කරමි. මහණෙනි, මෙසේ කඨිනය උදුරා දැමිය යුතු ය. දක්ෂ වූ, හැකියාව ඇති භික්ෂුවක් විසින් සංඝයාට දැනුම් දිය යුතු ය.”
2. “ස්වාමීනි, සංඝයා මාගේ වචනය අසත්වා. ඉදින් සංඝයාට සුදුසු කාලය නම්, සංඝයා කඨිනය උදුරා දමන්නේ ය. මෙය ඥප්තිය (සංඝයාට කරන දැනුම් දීම) යි.
ස්වාමීනි, සංඝයා මාගේ වචනය අසත්වා. සංඝයා කඨිනය උදුරා දමයි. කඨිනය උදුරා දැමීම යම් ආයුෂ්මත් කෙනෙකුට කැමති නම්, ඔහු නිහඬ වන්නේ ය. යමෙකුට කැමති නැත්නම් ඔහු කියන්නේ ය. සංඝයා විසින් කඨිනය උදුරා දමන ලදී. සංඝයාට එය කැමති ය. එහෙයින් නිහඬ ය. මෙය මෙසේ දරමි.”
3. ඉක්බිති ඒ උපාසකයා භික්ෂුණී සංඝයා වෙත ගොස් කඨිනය උදුරා දමන ලෙස ඉල්ලී ය. ථුල්ලනන්දා භික්ෂුණිය “සිවුර අපට ලැබෙන්නේ ය” යි සිතා කඨිනය උදුරා දැමීම වැළැක්වූවා ය. එවිට ඒ උපාසකයා හෙළා දකියි, නුගුණ කියයි, දොස් පතුරුවයි: “කෙසේ නම් භික්ෂුණීහු අපට කඨිනය උදුරා දැමීම නොදෙත් ද?” කියා. හෙළා දකින, නුගුණ කියන, දොස් පතුරුවන ඒ උපාසකයාගේ (අපකීර්තිය දනවන වචන) භික්ෂුණීහු ඇසූහ.
4. යම් ඒ භික්ෂුණීහු අල්පේච්ඡ (ආශා අඩු) වූවෝ ද -පෙ- ඔවුහු හෙළා දකිති, නුගුණ කියති, දොස් පතුරුවති: “කෙසේ නම් ආර්යා ථුල්ලනන්දා දැහැමි වූ කඨිනය උදුරා දැමීම වළක්වන්නී ද?” කියා. -පෙ- “මහණෙනි, ථුල්ලනන්දා භික්ෂුණිය දැහැමි වූ කඨිනය උදුරා දැමීම වැළැක්වූවා යන්න සැබෑ ද?” “සැබෑ ය, භාග්‍යවතුන් වහන්ස.” භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ගැරහූ සේක. -පෙ- “මහණෙනි, කෙසේ නම් ථුල්ලනන්දා භික්ෂුණිය දැහැමි වූ කඨිනය උදුරා දැමීම වළක්වන්නී ද? මහණෙනි, මෙය නොපැහැදුණු අයගේ පැහැදීම පිණිස හෝ නොවෙයි. -පෙ- මහණෙනි, භික්ෂුණීන් මේ ශික්ෂාපදය මෙසේ උදෙසත්වා:
“යම් භික්ෂුණියක් දැහැමි වූ කඨිනය උදුරා දැමීම වළක්වයි නම්, ඇයට පාචිත්තිය ඇවැත් වේ.”
5. යා පන (යම්): යම්, යම් බඳු -පෙ- භික්ඛුනී (භික්ෂුණිය): -පෙ- මේ අර්ථයෙහි අදහස් කරන ලද්දේ මේ භික්ෂුණිය යි.
දැහැමි වූ කඨිනය උදුරා දැමීම නම්: සමඟි වූ භික්ෂුණී සංඝයා රැස් වී කඨිනය උදුරා දැමීම යි.
වළක්වයි යනු: “කෙසේ මේ කඨිනය උදුරා දමන්නේ ද?” කියා වළක්වයි නම් පාචිත්තිය ඇවැත් වේ.
දැහැමි දෙයෙහි දැහැමි යැයි හඟිමින් වළක්වයි නම් පාචිත්තිය ඇවැත් වේ. දැහැමි දෙයෙහි සැක ඇතිව වළක්වයි නම් දුක්කට ඇවැත් වේ. දැහැමි දෙයෙහි නොදැහැමි යැයි හඟිමින් වළක්වයි නම් ඇවැත් නැත.
නොදැහැමි දෙයෙහි දැහැමි යැයි හඟින්නියට දුක්කට ඇවැත් වේ. නොදැහැමි දෙයෙහි සැක ඇත්තියට දුක්කට ඇවැත් වේ. නොදැහැමි දෙයෙහි නොදැහැමි යැයි හඟින්නියට ඇවැත් නැත.
ඇවැත් නැත: ප්‍රයෝජන (ආනිසංස) පෙන්වා දී වළක්වයි නම්, සිහි විකල් වූවෙකුට ද -පෙ- මුලින්ම මේ වරද කළ තැනැත්තාට (ආදිකම්මිකයාට) ද ඇවැත් නැත.
දසවන ශික්ෂාපදය යි.
තුන්වන නග්න වර්ගයයි.
එහි උද්දානය (කෙටි සාරාංශය):
නග්ග ද, උදක (සාටිකා) ද, විසිබ්බන ද, පඤ්චාහික ද, (චීවර) සඞ්කමනීය ද, ගණ ද, (චීවර) විභඞ්ග ද, සමණ (චීවර) ද, දුබ්බල ද, කඨිනය ද යන ශික්ෂාපද යි.