4. 3. 8.
අටවන ශික්ෂාපදය
1. සැවැත් නුවරදී පැනවූ ශික්ෂාපදයයි – එසමයෙහි ථුල්ලනන්දා භික්ෂුණිය “මාගේ ගුණ පිරිස් මැද කියව්” කියා නාටක රඟ දක්වන්නන්ට ද, නටන්නන්ට ද, (උණ බට, වරපට ආදිය උඩින්) පනින්නන්ට ද, ඉන්ද්‍රජාලිකයන්ට (මායා පෙන්වන්නන්ට) ද, කළගෙඩියෙන් ක්‍රීඩා කරන්නන්ට ද මහණ සිවුරු දෙයි. නාටක රඟ දක්වන්නෝ ද, නටන්නෝ ද, පනින්නෝ ද, ඉන්ද්‍රජාලිකයෝ ද, කළගෙඩියෙන් ක්‍රීඩා කරන්නෝ ද ථුල්ලනන්දා භික්ෂුණියගේ ගුණ පිරිස් මැද කියති: “ආර්යා ථුල්ලනන්දා බොහෝ ඇසූ පිරූ තැන් ඇත්තී ය, බණ දහම් කීමට පුරුදු වූවා ය, විශාරද (නිර්භීත) ය, දැහැමි කථා කිරීමට අග්‍ර (දක්ෂ) ය. ආර්යාවට දෙව්. ආර්යාවට (සත්කාර) කරව්.”
2. අල්පේච්ඡ (ආශා අඩු) යම් භික්ෂුණීහු වූහ ද -පෙ- ඔවුහු “කෙසේ නම් ආර්යා ථුල්ලනන්දා ගිහියකුට මහණ සිවුරු දෙන්නී ද?” කියා හෙළා දකිති, නුගුණ කියති, දොස් පතුරුවති. -පෙ- “මහණෙනි, ථුල්ලනන්දා භික්ෂුණිය ගිහියකුට මහණ සිවුරු දෙන බව සැබෑ ද?” “සැබෑ ය, භාග්‍යවතුන් වහන්ස.” භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ගැරහූ සේක. -පෙ- “මහණෙනි, කෙසේ නම් ථුල්ලනන්දා භික්ෂුණිය ගිහියකුට මහණ සිවුරු දෙන්නී ද? මහණෙනි, මෙය නොපැහැදුණු අයගේ පැහැදීම පිණිස හෝ නොවේ. -පෙ- මහණෙනි, භික්ෂුණීහු මේ ශික්ෂාපදය මෙසේ උදෙසිය යුතු ය (ප්‍රකාශ කළ යුතු ය):
“යම් භික්ෂුණියක් ගිහියකුට හෝ පිරිවැජියකුට (ගිහි ගෙය හැර ගිය අන්‍ය ආගමික තවුසකුට) හෝ පිරිවැජිනියකට හෝ මහණ සිවුරු දෙයි නම් පාචිත්තිය ඇවැත් වේ.”
3. යා පන (යම්): යම්, යම් බඳු -පෙ- භික්ඛුනී (භික්ෂුණිය): -පෙ- මේ අර්ථයෙහි අදහස් කරන ලද්දේ මේ භික්ෂුණිය යි.
අගාරික (ගිහියා) නම්: ගෙයක වාසය කරන යම් කෙනෙකි.
පරිබ්බාජක (පිරිවැජියා) නම්: භික්ෂුව ද සාමණේරයා ද හැර පිරිවැජි බවට පැමිණි යම් කෙනෙකි.
පරිබ්බාජිකා (පිරිවැජිනිය) නම්: භික්ෂුණිය ද සික්ඛමානාව (හික්මෙන තැනැත්තිය) ද සාමණේරිය ද හැර පිරිවැජි බවට පැමිණි යම් කෙනෙකි.
සමණචීවර (මහණ සිවුර) නම්: කප්බිඳු (සිවුර පරිහරණයට සුදුසු කිරීමට තබන ලකුණ) තබන ලද සිවුර කියනු ලැබේ. (එය) දෙයි නම් පාචිත්තිය ඇවැත් වේ.
ඇවැත් නැත: මවුපියන්ට දෙයි නම් ද, තාවකාලික ව (ටික කලකට පමණක්) දෙයි නම් ද, සිහි විකල් වූවෙකුට ද, -පෙ- මුලින්ම මේ වරද කළ තැනැත්තාට (ආදිකම්මිකයාට) ද ඇවැත් නැත.
අටවන ශික්ෂාපදය යි.
4. 3. 9.
නවවන ශික්ෂාපදය
1. සැවැත් නුවරදී පැනවූ ශික්ෂාපදයයි – ඒ කාලයෙහි ථුල්ලනන්දා භික්ෂුණියට උපස්ථාන කරන පවුල ථුල්ලනන්දා භික්ෂුණියට මෙසේ කීය: “ආර්යාවෙනි, අපට හැකි වුවහොත් අපි භික්ෂුණී සංඝයාට සිවුරක් දෙන්නෙමු” යි. ඒ කාලයෙහි වස් වසා අවසන් කළ භික්ෂුණීහු සිවුරු බෙදීමට කැමති ව රැස් වූහ. ථුල්ලනන්දා භික්ෂුණිය ඒ භික්ෂුණීන්ට මෙසේ කීවා ය: “ආර්යාවෙනි, ටිකක් ඉවසන්න; භික්ෂුණී සංඝයාට සිවුරක් ලැබේ ය යන බලාපොරොත්තුවක් ඇත” යි. භික්ෂුණීහු ථුල්ලනන්දා භික්ෂුණියට මෙසේ කීහ: “ආර්යාවෙනි, ගොස් ඒ සිවුර ගැන දැනගන්න” යි. ථුල්ලනන්දා භික්ෂුණිය ඒ පවුල වෙත ගියා ය. ගොස් ඒ මිනිසුන්ට මෙසේ කීවා ය: “ඇවැත්නි, භික්ෂුණී සංඝයාට සිවුරක් දෙන්න” යි. “ආර්යාවෙනි, අපට භික්ෂුණී සංඝයාට සිවුරක් දෙන්නට නොහැකි ය” යි. ථුල්ලනන්දා භික්ෂුණිය භික්ෂුණීන්ට මේ කරුණ දැන්වූවා ය.
2. අල්පේච්ඡ (ආශා අඩු) යම් භික්ෂුණීහු වූවාහු ද -පෙ- ඔව්හු හෙළා දකිති, නුගුණ කියති, දොස් පතුරුවති: “කෙසේ නම් ආර්යා ථුල්ලනන්දා සිවුරක් ලැබේ ය යන දුබල බලාපොරොත්තුවෙන් සිවුරු කාලය (චීවරකාලසමය) ඉක්මවන්නී ද?” යි. -පෙ- “මහණෙනි, ථුල්ලනන්දා භික්ෂුණිය සිවුරක් ලැබේ ය යන දුබල බලාපොරොත්තුවෙන් සිවුරු කාලය ඉක්මවූවා ය යනු සැබෑ ද?” “සැබෑ ය, භාග්‍යවතුන් වහන්ස.” භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ගැරහූ සේක. -පෙ- “මහණෙනි, කෙසේ නම් ථුල්ලනන්දා භික්ෂුණිය සිවුරක් ලැබේ ය යන දුබල බලාපොරොත්තුවෙන් සිවුරු කාලය ඉක්මවන්නී ද? මහණෙනි, මෙය නොපැහැදුණු අයගේ පැහැදීම පිණිස නොවේ. -පෙ- මහණෙනි, භික්ෂුණීහු මේ ශික්ෂාපදය මෙසේ උදෙසත්වා:
“යම් භික්ෂුණියක් සිවුරක් ලැබේ ය යන දුබල බලාපොරොත්තුවෙන් සිවුරු කාලය ඉක්මවයි නම් පාචිත්තිය වේ” යි.
3. යා පන (යම්): යම්, යම් බඳු -පෙ- භික්ඛුනී (භික්ෂුණිය): -පෙ- මේ අර්ථයෙහි අදහස් කරන ලද්දේ මේ භික්ෂුණිය යි.
දුබ්බලචීවරපච්චාසා (සිවුරක් ලැබේ ය යන දුබල බලාපොරොත්තුව) නම්: “අපට හැකි වුවහොත් දෙන්නෙමු, කරන්නෙමු” යි වචනයෙන් කියා තිබීම යි.
චීවරකාලසමය (සිවුරු කාලය) නම්: කඨිනය නොඅතුළ කල්හි වස් කාලයේ අවසාන මාසය යි. කඨිනය අතුළ කල්හි මාස පහ යි.
චීවරකාලසමයං අතික්කාමෙය්‍ය (සිවුරු කාලය ඉක්මවයි නම්) යනු: කඨිනය නොඅතුළ කල්හි වස් කාලයේ අවසාන දවස ඉක්මවයි නම් පාචිත්තිය ඇවැත් වේ. කඨිනය අතුළ කල්හි කඨිනය උදුරන (අවසන් කරන) දවස ඉක්මවයි නම් පාචිත්තිය ඇවැත් වේ.