4. 3. 7.
හත්වන ශික්ෂාපදය
1. සැවැත් නුවරදී පැනවූ ශික්ෂාපදයයි – එසමයෙහි භික්ෂුණී සංඝයාට නොකල් සිවුරක් (සිවුරු ලබන කාලය නොවන කාලයක ලැබුණු සිවුරක්) ලැබී තිබුණේ ය. එවිට භික්ෂුණී සංඝයා ඒ සිවුර බෙදන්නට කැමති ව රැස් වූහ. එසමයෙහි ථුල්ලනන්දා භික්ෂුණියගේ අතවැසි (ශිෂ්‍ය) භික්ෂුණීහු වෙනත් තැනකට ගොස් සිටියහ. ථුල්ලනන්දා භික්ෂුණිය ඒ භික්ෂුණීන්ට මෙසේ කීවා ය: “ආර්යාවෙනි, (මාගේ අතවැසි) භික්ෂුණීහු ගොස් සිටිති. (ඔවුන් එන) තෙක් සිවුර නොබෙදනු ලැබේ” කියා දැහැමි සිවුරු බෙදීම වැළැක්වූවා ය. භික්ෂුණීහු ‘එතෙක් සිවුර නොබෙදනු ලැබේ’ යැයි සිතා (තම තමන් ගිය යුතු තැන්වලට) ගියහ. අතවැසි භික්ෂුණීන් පැමිණි කල ථුල්ලනන්දා භික්ෂුණිය ඒ සිවුර බෙදෙව්වා ය.
2. අල්පේච්ඡ (ආශා අඩු) යම් භික්ෂුණීහු වූහ ද -පෙ- ඔවුහු “කෙසේ නම් ආර්යා ථුල්ලනන්දා දැහැමි සිවුරු බෙදීම වළක්වන්නී ද?” කියා හෙළා දකිති, නුගුණ කියති, දොස් පතුරුවති. -පෙ- “මහණෙනි, ථුල්ලනන්දා භික්ෂුණිය දැහැමි සිවුරු බෙදීම වැළැක්වූ බව සැබෑ ද?” “සැබෑ ය, භාග්‍යවතුන් වහන්ස.” භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ගැරහූ සේක. -පෙ- “මහණෙනි, කෙසේ නම් ථුල්ලනන්දා භික්ෂුණිය දැහැමි සිවුරු බෙදීම වළක්වන්නී ද? මහණෙනි, මෙය නොපැහැදුණු අයගේ පැහැදීම පිණිස හෝ නොවේ. -පෙ- මහණෙනි, භික්ෂුණීහු මේ ශික්ෂාපදය මෙසේ උදෙසිය යුතු ය (ප්‍රකාශ කළ යුතු ය):
“යම් භික්ෂුණියක් දැහැමි සිවුරු බෙදීම වළක්වන්නී නම් පාචිත්තිය ඇවැත් වේ.”
3. යා පන (යම්): යම්, යම් බඳු -පෙ- භික්ඛුනී (භික්ෂුණිය): -පෙ- මේ අර්ථයෙහි අදහස් කරන ලද්දේ මේ භික්ෂුණිය යි.
ධම්මික චීවර විභංග (දැහැමි සිවුරු බෙදීම) නම්: සමගි වූ භික්ෂුණී සංඝයා රැස් වී (සිවුරු) බෙදති.
පටිබාහෙය්‍ය (වළක්වන්නී නම්): “කෙසේ මේ සිවුර බෙදන්නේ ද?” කියා වළක්වයි නම් පාචිත්තිය ඇවැත් වේ.
දැහැමි බෙදීමක් දැහැමි යැයි හඟිමින් වළක්වයි නම් පාචිත්තිය ඇවැත් වේ. දැහැමි බෙදීමක් ගැන සැක ඇති ව වළක්වයි නම් දුක්කට ඇවැත් වේ. දැහැමි බෙදීමක් නොදැහැමි යැයි හඟිමින් වළක්වයි නම් ඇවැත් නැත.
නොදැහැමි බෙදීමක් දැහැමි යැයි හඟින්නී නම් දුක්කට ඇවැත් වේ. නොදැහැමි බෙදීමක් ගැන සැක ඇත්තී නම් දුක්කට ඇවැත් වේ. නොදැහැමි බෙදීමක් නොදැහැමි යැයි හඟින්නී නම් ඇවැත් නැත.
ඇවැත් නැත: (නොබෙදීමෙන් ලැබෙන) යහපත පෙන්වා දී වළක්වයි නම් ද, සිහි විකල් වූවෙකුට ද, -පෙ- මුලින්ම මේ වරද කළ තැනැත්තාට (ආදිකම්මිකයාට) ද ඇවැත් නැත.
හත්වන ශික්ෂාපදය යි.
4. 3. 8.
අටවන ශික්ෂාපදය
1. සැවැත් නුවරදී පැනවූ ශික්ෂාපදයයි – එසමයෙහි ථුල්ලනන්දා භික්ෂුණිය “මාගේ ගුණ පිරිස් මැද කියව්” කියා නාටක රඟ දක්වන්නන්ට ද, නටන්නන්ට ද, (උණ බට, වරපට ආදිය උඩින්) පනින්නන්ට ද, ඉන්ද්‍රජාලිකයන්ට (මායා පෙන්වන්නන්ට) ද, කළගෙඩියෙන් ක්‍රීඩා කරන්නන්ට ද මහණ සිවුරු දෙයි. නාටක රඟ දක්වන්නෝ ද, නටන්නෝ ද, පනින්නෝ ද, ඉන්ද්‍රජාලිකයෝ ද, කළගෙඩියෙන් ක්‍රීඩා කරන්නෝ ද ථුල්ලනන්දා භික්ෂුණියගේ ගුණ පිරිස් මැද කියති: “ආර්යා ථුල්ලනන්දා බොහෝ ඇසූ පිරූ තැන් ඇත්තී ය, බණ දහම් කීමට පුරුදු වූවා ය, විශාරද (නිර්භීත) ය, දැහැමි කථා කිරීමට අග්‍ර (දක්ෂ) ය. ආර්යාවට දෙව්. ආර්යාවට (සත්කාර) කරව්.”
2. අල්පේච්ඡ (ආශා අඩු) යම් භික්ෂුණීහු වූහ ද -පෙ- ඔවුහු “කෙසේ නම් ආර්යා ථුල්ලනන්දා ගිහියකුට මහණ සිවුරු දෙන්නී ද?” කියා හෙළා දකිති, නුගුණ කියති, දොස් පතුරුවති. -පෙ- “මහණෙනි, ථුල්ලනන්දා භික්ෂුණිය ගිහියකුට මහණ සිවුරු දෙන බව සැබෑ ද?” “සැබෑ ය, භාග්‍යවතුන් වහන්ස.” භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ගැරහූ සේක. -පෙ- “මහණෙනි, කෙසේ නම් ථුල්ලනන්දා භික්ෂුණිය ගිහියකුට මහණ සිවුරු දෙන්නී ද? මහණෙනි, මෙය නොපැහැදුණු අයගේ පැහැදීම පිණිස හෝ නොවේ. -පෙ- මහණෙනි, භික්ෂුණීහු මේ ශික්ෂාපදය මෙසේ උදෙසිය යුතු ය (ප්‍රකාශ කළ යුතු ය):
“යම් භික්ෂුණියක් ගිහියකුට හෝ පිරිවැජියකුට (ගිහි ගෙය හැර ගිය අන්‍ය ආගමික තවුසකුට) හෝ පිරිවැජිනියකට හෝ මහණ සිවුරු දෙයි නම් පාචිත්තිය ඇවැත් වේ.”
3. යා පන (යම්): යම්, යම් බඳු -පෙ- භික්ඛුනී (භික්ෂුණිය): -පෙ- මේ අර්ථයෙහි අදහස් කරන ලද්දේ මේ භික්ෂුණිය යි.
අගාරික (ගිහියා) නම්: ගෙයක වාසය කරන යම් කෙනෙකි.
පරිබ්බාජක (පිරිවැජියා) නම්: භික්ෂුව ද සාමණේරයා ද හැර පිරිවැජි බවට පැමිණි යම් කෙනෙකි.
පරිබ්බාජිකා (පිරිවැජිනිය) නම්: භික්ෂුණිය ද සික්ඛමානාව (හික්මෙන තැනැත්තිය) ද සාමණේරිය ද හැර පිරිවැජි බවට පැමිණි යම් කෙනෙකි.
සමණචීවර (මහණ සිවුර) නම්: කප්බිඳු (සිවුර පරිහරණයට සුදුසු කිරීමට තබන ලකුණ) තබන ලද සිවුර කියනු ලැබේ. (එය) දෙයි නම් පාචිත්තිය ඇවැත් වේ.
ඇවැත් නැත: මවුපියන්ට දෙයි නම් ද, තාවකාලික ව (ටික කලකට පමණක්) දෙයි නම් ද, සිහි විකල් වූවෙකුට ද, -පෙ- මුලින්ම මේ වරද කළ තැනැත්තාට (ආදිකම්මිකයාට) ද ඇවැත් නැත.
අටවන ශික්ෂාපදය යි.