4. 3. 6.
හයවන ශික්ෂාපදය
1. සැවැත් නුවරදී පැනවූ ශික්‍ෂාපදයයි – එකල ථුල්ලනන්දා භික්ෂුණියට උපස්ථාන කරන පවුල ථුල්ලනන්දා භික්ෂුණියට මෙසේ කීහ: “ආර්යාවෙනි, භික්ෂුණී සංඝයාට සිවුරක් දෙන්නෙමු” කියා. ථුල්ලනන්දා භික්ෂුණිය “ඔබ බොහෝ වැඩ ඇත්තෝ ය, බොහෝ කළ යුතු කටයුතු ඇත්තෝ ය” කියා එයට බාධා කළා ය. එකල ඒ පවුලේ ගෙය ගිනි ගෙන දැවෙයි. ඔවුහු හෙළා දකිති, නුගුණ කියති, දොස් පතුරුවති: “කෙසේ නම් ආර්යා ථුල්ලනන්දා අප දෙන්නට සිටි දානයට බාධා කරන්නී ද? අපි සම්පතින් ද පිනෙන් ද යන දෙකින් ම පිරිහුණෙමු” කියා.
2. හෙළා දකිමින්, නුගුණ කියමින්, දොස් පතුරුවමින් සිටි ඒ මිනිසුන්ගේ (ඒ අපකීර්තිමත් වචන) භික්ෂුණීහු ඇසූහ. අල්පේච්ඡ (ආශා අඩු) වූ යම් ඒ භික්ෂුණීහු -පෙ- ඔවුහු හෙළා දකිති, නුගුණ කියති, දොස් පතුරුවති: “කෙසේ නම් ආර්යා ථුල්ලනන්දා ගණයාට ලැබෙන සිවුරුවලට බාධා කරන්නී ද?” කියා. -පෙ- “මහණෙනි, ථුල්ලනන්දා භික්ෂුණිය ගණයාට ලැබෙන සිවුරුවලට බාධා කළ බව සැබෑ ද?” “සැබෑ ය, භාග්‍යවතුන් වහන්ස.” භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ගැරහූ සේක. -පෙ- “මහණෙනි, කෙසේ නම් ථුල්ලනන්දා භික්ෂුණිය ගණයාට ලැබෙන සිවුරුවලට බාධා කරන්නී ද? මහණෙනි, මෙය නොපැහැදුණු අයගේ පැහැදීම පිණිස හෝ නොවේ. -පෙ- මහණෙනි, භික්ෂුණීහු මේ ශික්ෂාපදය මෙසේ උදෙසිය යුතු ය (ප්‍රකාශ කළ යුතු ය):
“යම් භික්ෂුණියක් ගණයාට ලැබෙන සිවුරුවලට බාධා කරයි නම් පාචිත්තිය ඇවැත් වේ.”
3. යා පන (යම්): යම්, යම් බඳු -පෙ- භික්ඛුනී (භික්ෂුණිය): -පෙ- මේ අර්ථයෙහි අදහස් කරන ලද්දේ මේ භික්ෂුණිය යි.
ගණ නම්: භික්ෂුණී සංඝයාට කියනු ලැබේ.
චීවර (සිවුර) නම්: සිවුරු වර්ග හය අතුරෙන් එක් සිවුරකි; අඩුම තරමින් විකප්ප කිරීමට (තවත් අයෙකුගේ ද අයිතියට පවරා තැබීමට) සුදුසු ප්‍රමාණය ඇති සිවුරකි.
අන්තරායං කරෙය්ය (බාධා කරයි නම්): “කෙසේ මොවුහු සිවුරක් දෙත් ද?” කියා බාධා කරයි නම් පාචිත්තිය ඇවැත් වේ. වෙනත් පිරිකරකට (තැටි ආදී හෝ ගිතෙල්, තෙල් ආදී හෝ කිසියම් දෙයකට) බාධා කරයි නම් දුක්කට ඇවැත් වේ. බොහෝ භික්ෂුණීන්ට හෝ එක් භික්ෂුණියකට හෝ උපසම්පදාව නොලත් තැනැත්තියකට හෝ ලැබෙන සිවුරකට හෝ වෙනත් පිරිකරකට හෝ බාධා කරයි නම් දුක්කට ඇවැත් වේ.
ඇවැත් නැත: (එසේ නොදීමෙන් ලැබෙන) යහපත පෙන්වා දී වළක්වයි නම් ද, සිහි විකල් වූවෙකුට ද, -පෙ- මුලින්ම මේ වරද කළ තැනැත්තාට (ආදිකම්මිකයාට) ද ඇවැත් නැත.
හයවන ශික්ෂාපදය යි.
4. 3. 7.
හත්වන ශික්ෂාපදය
1. සැවැත් නුවරදී පැනවූ ශික්‍ෂාපදයයි – එසමයෙහි භික්ෂුණී සංඝයාට නොකල් සිවුරක් (සිවුරු ලබන කාලය නොවන කාලයක ලැබුණු සිවුරක්) ලැබී තිබුණේ ය. එවිට භික්ෂුණී සංඝයා ඒ සිවුර බෙදන්නට කැමති ව රැස් වූහ. එසමයෙහි ථුල්ලනන්දා භික්ෂුණියගේ අතවැසි (ශිෂ්‍ය) භික්ෂුණීහු වෙනත් තැනකට ගොස් සිටියහ. ථුල්ලනන්දා භික්ෂුණිය ඒ භික්ෂුණීන්ට මෙසේ කීවා ය: “ආර්යාවෙනි, (මාගේ අතවැසි) භික්ෂුණීහු ගොස් සිටිති. (ඔවුන් එන) තෙක් සිවුර නොබෙදනු ලැබේ” කියා දැහැමි සිවුරු බෙදීම වැළැක්වූවා ය. භික්ෂුණීහු ‘එතෙක් සිවුර නොබෙදනු ලැබේ’ යැයි සිතා (තම තමන් ගිය යුතු තැන්වලට) ගියහ. අතවැසි භික්ෂුණීන් පැමිණි කල ථුල්ලනන්දා භික්ෂුණිය ඒ සිවුර බෙදෙව්වා ය.
2. අල්පේච්ඡ (ආශා අඩු) යම් භික්ෂුණීහු වූහ ද -පෙ- ඔවුහු “කෙසේ නම් ආර්යා ථුල්ලනන්දා දැහැමි සිවුරු බෙදීම වළක්වන්නී ද?” කියා හෙළා දකිති, නුගුණ කියති, දොස් පතුරුවති. -පෙ- “මහණෙනි, ථුල්ලනන්දා භික්ෂුණිය දැහැමි සිවුරු බෙදීම වැළැක්වූ බව සැබෑ ද?” “සැබෑ ය, භාග්‍යවතුන් වහන්ස.” භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ගැරහූ සේක. -පෙ- “මහණෙනි, කෙසේ නම් ථුල්ලනන්දා භික්ෂුණිය දැහැමි සිවුරු බෙදීම වළක්වන්නී ද? මහණෙනි, මෙය නොපැහැදුණු අයගේ පැහැදීම පිණිස හෝ නොවේ. -පෙ- මහණෙනි, භික්ෂුණීහු මේ ශික්ෂාපදය මෙසේ උදෙසිය යුතු ය (ප්‍රකාශ කළ යුතු ය):
“යම් භික්ෂුණියක් දැහැමි සිවුරු බෙදීම වළක්වන්නී නම් පාචිත්තිය ඇවැත් වේ.”
3. යා පන (යම්): යම්, යම් බඳු -පෙ- භික්ඛුනී (භික්ෂුණිය): -පෙ- මේ අර්ථයෙහි අදහස් කරන ලද්දේ මේ භික්ෂුණිය යි.
ධම්මික චීවර විභංග (දැහැමි සිවුරු බෙදීම) නම්: සමගි වූ භික්ෂුණී සංඝයා රැස් වී (සිවුරු) බෙදති.
පටිබාහෙය්ය (වළක්වන්නී නම්): “කෙසේ මේ සිවුර බෙදන්නේ ද?” කියා වළක්වයි නම් පාචිත්තිය ඇවැත් වේ.
දැහැමි බෙදීමක් දැහැමි යැයි හඟිමින් වළක්වයි නම් පාචිත්තිය ඇවැත් වේ. දැහැමි බෙදීමක් ගැන සැක ඇති ව වළක්වයි නම් දුක්කට ඇවැත් වේ. දැහැමි බෙදීමක් නොදැහැමි යැයි හඟිමින් වළක්වයි නම් ඇවැත් නැත.
නොදැහැමි බෙදීමක් දැහැමි යැයි හඟින්නී නම් දුක්කට ඇවැත් වේ. නොදැහැමි බෙදීමක් ගැන සැක ඇත්තී නම් දුක්කට ඇවැත් වේ. නොදැහැමි බෙදීමක් නොදැහැමි යැයි හඟින්නී නම් ඇවැත් නැත.
ඇවැත් නැත: (නොබෙදීමෙන් ලැබෙන) යහපත පෙන්වා දී වළක්වයි නම් ද, සිහි විකල් වූවෙකුට ද, -පෙ- මුලින්ම මේ වරද කළ තැනැත්තාට (ආදිකම්මිකයාට) ද ඇවැත් නැත.
හත්වන ශික්ෂාපදය යි.