4. 2. 4.
සතරවන ශික්ෂාපදය
1. සැවැත් නුවරදී පැනවූ ශික්‍ෂාපදයයි – එකල ථුල්ලනන්දා භික්ෂුණිය වීථියේ ද, කොවේ (ඇතුළු වූ මඟින් ම ආපසු පිට විය යුතු මඟෙහි) ද, සතර මංසන්ධියේ ද තනිව සිටින පිරිමියෙකු සමඟ තනිව එකට සිටීමත් කරයි; කතාබස් කිරීමත් කරයි; කනට කොඳුරා කතා කිරීමත් කරයි; සමඟ සිටින දෙවන භික්ෂුණිය ඉවත් කොට යැවීමත් කරයි.
2. අල්පේච්ඡ (ආශා අඩු) වූ යම් ඒ භික්ෂුණීහු වෙත් ද -පෙ- ඔවුහු හෙළා දකිති, නුගුණ කියති, දොස් පතුරුවති: “කෙසේ නම් ආර්ය ථුල්ලනන්දා වීථියේ ද කොවේ ද සතර මංසන්ධියේ ද තනිව සිටින පිරිමියෙකු සමඟ තනිව එකට සිටීමත් කරන්නී ද? කතාබස් කිරීමත් කරන්නී ද? කනට කොඳුරා කතා කිරීමත් කරන්නී ද? දෙවන භික්ෂුණිය ඉවත් කොට යැවීමත් කරන්නී ද?” -පෙ- “මහණෙනි, ථුල්ලනන්දා භික්ෂුණිය වීථියේ ද කොවේ ද සතර මංසන්ධියේ ද තනිව සිටින පිරිමියෙකු සමඟ තනිව එකට සිටීමත් කරයි ද, කතාබස් කිරීමත් කරයි ද, කනට කොඳුරා කතා කිරීමත් කරයි ද, දෙවන භික්ෂුණිය ඉවත් කොට යැවීමත් කරයි ද යන්න සැබෑ ද?” “සැබෑ ය, භාග්‍යවතුන් වහන්ස.” භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ගැරහූ සේක. -පෙ- “මහණෙනි, කෙසේ නම් ථුල්ලනන්දා භික්ෂුණිය වීථියේ ද කොවේ ද සතර මංසන්ධියේ ද තනිව සිටින පිරිමියෙකු සමඟ තනිව එකට සිටීමත් කරන්නී ද? කතාබස් කිරීමත් කරන්නී ද? කනට කොඳුරා කතා කිරීමත් කරන්නී ද? දෙවන භික්ෂුණිය ඉවත් කොට යැවීමත් කරන්නී ද? මහණෙනි, මෙය නොපැහැදුණු අයගේ පැහැදීම පිණිස හෝ නොවේ. -පෙ- මහණෙනි, භික්ෂුණීහු මේ ශික්ෂාපදය මෙසේ උදෙසිය යුතු ය (ප්‍රකාශ කළ යුතු ය):
“යම් භික්ෂුණියක් වීථියේ හෝ කොවේ හෝ සතර මංසන්ධියේ හෝ තනිව සිටින පිරිමියෙකු සමඟ තනිව එකට සිටියි නම් හෝ කතාබස් කරයි නම් හෝ කනට කොඳුරයි නම් හෝ දෙවන භික්ෂුණිය ඉවත් කොට යවයි නම් හෝ පාචිත්තිය ඇවැත් වේ.”
3. යා පන (යම්): යම්, යම් බඳු -පෙ- භික්ඛුනී (භික්ෂුණිය): -පෙ- මේ අර්ථයෙහි අදහස් කරන ලද්දේ මේ භික්ෂුණිය යි.
රථියා නම්: වීථියට කියනු ලැබේ.
බ්යූහ (කොව - අගක් නැති මඟ) නම්: යම් මඟකින් ඇතුළු වෙත් ද, ඒ මඟින් ම පිට වෙති.
සිඞ්ඝාටක නම්: සතර මංසන්ධියට කියනු ලැබේ.
පුරිස (පිරිමියා) නම්: මිනිස් පිරිමියෙකි; යක්ෂයෙකු නොවේ, ප්‍රේතයෙකු නොවේ, තිරිසනෙකු නොවේ. එකට සිටීමට, කතාබස් කිරීමට හැකි, දැනුම ඇති කෙනෙකි.
සද්ධිං (සමඟ): එකට.
එකෙනෙකා (තනිව): පිරිමියා ද සිටියි, භික්ෂුණිය ද සිටියි.
සන්තිට්ඨෙය්ය වා (එකට සිටියි නම් හෝ): පිරිමියාගේ අත්පසෙහි සිටියි නම් පාචිත්තිය ඇවැත් වේ.
සල්ලපෙය්ය වා (කතාබස් කරයි නම් හෝ): පිරිමියාගේ අත්පසෙහි සිට කතාබස් කරයි නම් පාචිත්තිය ඇවැත් වේ.
නිකණ්ණිකං වා ජප්පෙය්ය (කනට කොඳුරයි නම් හෝ): පිරිමියාගේ කන ළඟ යමක් කියයි නම් පාචිත්තිය ඇවැත් වේ.
දුතියිකං වා භික්ඛුනිං උය්යෝජෙය්ය (දෙවන භික්ෂුණිය ඉවත් කොට යවයි නම් හෝ): අනාචාරයේ (නුසුදුසු ලෙස) හැසිරීමට කැමැති ව දෙවන භික්ෂුණිය ද ඉවත් කොට යවයි නම් දුක්කට ඇවැත් වේ. දැකිය හැකි සීමාව හෝ ඇසිය හැකි සීමාව හෝ ඉක්මවන කල්හි දුක්කට ඇවැත් වේ. ඉක්මවූ කල්හි පාචිත්තිය ඇවැත් වේ. අත්පසින් ඉවත් වී එකට සිටියි නම් හෝ කතාබස් කරයි නම් හෝ දුක්කට ඇවැත් වේ. යක්ෂයෙකු හෝ ප්‍රේතයෙකු හෝ පණ්ඩකයෙකු (නපුංසකයෙකු) හෝ මිනිස් වෙසක් ගත් තිරිසනෙකු හෝ සමඟ එකට සිටියි නම් හෝ කතාබස් කරයි නම් හෝ දුක්කට ඇවැත් වේ.
ඇවැත් නැත: දැනුම ඇති යම් කිසි දෙවැන්නෙක් සිටී නම් ද, හුදෙකලාවක් නොකැමැති ව, වෙනත් දෙයකට සිත යොමු වී සිට එකට සිටියි නම් හෝ කතාබස් කරයි නම් හෝ, අනාචාරයේ හැසිරීමට නොකැමැති ව, අවශ්‍ය කටයුත්තක් ඇති කල්හි දෙවන භික්ෂුණිය ඉවත් කොට යවයි නම් ද ඇවැත් නැත. සිහි විකල් වූවෙකුට ද -පෙ- මුලින්ම මේ වරද කළ තැනැත්තාට (ආදිකම්මිකයාට) ද ඇවැත් නැත.
සතරවන ශික්ෂාපදය යි.
4. 2. 5.
පස්වන ශික්ෂාපදය
1. සැවැත් නුවරදී පැනවූ ශික්‍ෂාපදයයි – එකල්හි එක්තරා භික්ෂුණියක් එක්තරා කුලයකට (පවුලකට) නිතර යන, එහි නිති දානය වළඳන භික්ෂුණියක් (කුලූපිකාවක්) වූවා ය. එක් දිනක් ඒ භික්ෂුණිය පෙරවරුවේ හැඳ පොරවා පාත්‍රය හා සිවුර ගෙන ඒ කුලය වෙත ගියා ය. ගොස් අසුනෙහි හිඳ, ගෙහිමියන්ගෙන් නොවිමසා බැහැර ගියා ය. ඒ කුලයේ දාසිය ගෙය අමදිමින් සිට ඒ අසුන භාජන අතරට දැම්මා ය. මිනිස්සු ඒ අසුන නොදැක ඒ භික්ෂුණියට “ආර්යාවෙනි, ඒ අසුන කොහි ද?” යි කීහ. “ඇවැත්නි, මම ඒ අසුන නොදකිමි” යි ඇය කීවා ය. “ආර්යාවෙනි, ඒ අසුන දෙන්න” යි බැණ වැදී, නිති දානය නතර කළහ. ඉක්බිති ඒ මිනිස්සු ගෙය පිරිසිදු කරද්දී ඒ අසුන භාජන අතර දැක, ඒ භික්ෂුණියගෙන් සමාව ගෙන නිති දානය යළි පටන් ගත්හ.