4. 2. 5.
පස්වන ශික්ෂාපදය
1. සැවැත් නුවරදී පැනවූ ශික්‍ෂාපදයයි – එකල්හි එක්තරා භික්ෂුණියක් එක්තරා කුලයකට (පවුලකට) නිතර යන, එහි නිති දානය වළඳන භික්ෂුණියක් (කුලූපිකාවක්) වූවා ය. එක් දිනක් ඒ භික්ෂුණිය පෙරවරුවේ හැඳ පොරවා පාත්‍රය හා සිවුර ගෙන ඒ කුලය වෙත ගියා ය. ගොස් අසුනෙහි හිඳ, ගෙහිමියන්ගෙන් නොවිමසා බැහැර ගියා ය. ඒ කුලයේ දාසිය ගෙය අමදිමින් සිට ඒ අසුන භාජන අතරට දැම්මා ය. මිනිස්සු ඒ අසුන නොදැක ඒ භික්ෂුණියට “ආර්යාවෙනි, ඒ අසුන කොහි ද?” යි කීහ. “ඇවැත්නි, මම ඒ අසුන නොදකිමි” යි ඇය කීවා ය. “ආර්යාවෙනි, ඒ අසුන දෙන්න” යි බැණ වැදී, නිති දානය නතර කළහ. ඉක්බිති ඒ මිනිස්සු ගෙය පිරිසිදු කරද්දී ඒ අසුන භාජන අතර දැක, ඒ භික්ෂුණියගෙන් සමාව ගෙන නිති දානය යළි පටන් ගත්හ.
2. ඉක්බිති ඒ භික්ෂුණිය භික්ෂුණීන්ට මේ කරුණ දැන්වූවා ය. අල්පේච්ඡ (ආශා අඩු) යම් ඒ භික්ෂුණීහු වූවාහු ද -පෙ- ඔවුහු “කෙසේ නම් භික්ෂුණියක් පෙරවරුවේ කුලයන් වෙත ගොස් අසුනක හිඳ ගෙහිමියන්ගෙන් නොවිමසා බැහැර යන්නී ද?” යි හෙළා දකිති, නුගුණ කියති, දොස් පතුරුවති -පෙ- “මහණෙනි, භික්ෂුණියක් පෙරවරුවේ කුලයන් වෙත ගොස් අසුනක හිඳ ගෙහිමියන්ගෙන් නොවිමසා බැහැර ගියා යැයි කියන්නේ සැබෑ ද?” “සැබෑ ය, භාග්‍යවතුන් වහන්ස.” භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ගැරහූ සේක -පෙ- “මහණෙනි, කෙසේ නම් භික්ෂුණියක් පෙරවරුවේ කුලයන් වෙත ගොස් අසුනක හිඳ ගෙහිමියන්ගෙන් නොවිමසා බැහැර යන්නී ද? මහණෙනි, මෙය නොපැහැදුණු අයගේ පැහැදීම පිණිස හෝ නොවේ -පෙ- මහණෙනි, භික්ෂුණීහු මේ ශික්ෂාපදය මෙසේ උදෙසිය යුතු ය (ප්‍රකාශ කළ යුතු ය):
“යම් භික්ෂුණියක් පෙරවරුවේ කුලයන් වෙත ගොස් අසුනක හිඳ ගෙහිමියන්ගෙන් නොවිමසා බැහැර යයි නම් පාචිත්තිය ඇවැත් වේ” යි.
3. යා පන (යම්): යම්, යම් බඳු -පෙ- භික්ඛුනී (භික්ෂුණිය) -පෙ- මේ අර්ථයෙහි අදහස් කරන ලද්දේ මේ භික්ෂුණිය යි.
පුරේභත්ත (පෙරවරුව) නම්: අරුණ නැඟීමේ සිට මධ්‍යාහ්නය තෙක්.
කුල නම්: ක්ෂත්රිය කුලය, බ්‍රාහ්මණ කුලය, වෛශ්‍ය කුලය, ශුද්‍ර කුලය යන කුල හතර යි.
උපසඞ්කමිත්වා (ගොස්): එහි ගොස්.
ආසන (අසුන) නම්: පලඟ බැඳ හිඳිය හැකි තැන කියනු ලැබේ.
නිසීදිත්වා (හිඳ): එහි හිඳ.
සාමිකෙ අනාපුච්ඡා පක්කමෙය්ය (ගෙහිමියන්ගෙන් නොවිමසා බැහැර යයි නම්): ඒ කුලයේ දැනුම ඇති යම් මිනිසෙක් සිටී නම්, ඔහුගෙන් නොවිමසා නිසවත (වැසි වතුර නොවැටෙන, වහලය යට ප්‍රදේශය) ඉක්මවා යන භික්ෂුණියට පාචිත්තිය ඇවැත් වේ. එළිමහනෙහි නම්, අවට ප්‍රදේශය (උපචාරය) ඉක්මවා යන භික්ෂුණියට පාචිත්තිය ඇවැත් වේ.
නොවිමසූ කල්හි නොවිමසූ බව හඟිමින් බැහැර යයි නම් පාචිත්තිය ඇවැත් වේ. නොවිමසූ කල්හි සැක ඇති ව බැහැර යයි නම් පාචිත්තිය ඇවැත් වේ. නොවිමසූ කල්හි විමසූ බව හඟිමින් බැහැර යයි නම් පාචිත්තිය ඇවැත් වේ.
පලඟ බැඳ හිඳිය හැකි තැනක් නොවන තැනෙක (හිඳ ගියේ නම්) දුක්කට ඇවැත් වේ. විමසූ කල්හි නොවිමසූ බව හඟියි නම් දුක්කට ඇවැත් වේ. විමසූ කල්හි සැක ඇත්තී නම් දුක්කට ඇවැත් වේ. විමසූ කල්හි විමසූ බව හඟියි නම් ඇවැත් නැත.
ඇවැත් නැත: විමසා යයි නම් ද, ගෙන යා නොහැකි අසුනක හිඳ ගියේ නම් ද ඇවැත් නැත. ගිලන් වූ භික්ෂුණියට ද (විමසීමට නොහැකි තරම් ගිලන් වූ භික්ෂුණියට), ආපදාවක දී ද, සිහි විකල් වූවෙකුට ද, -පෙ- මුලින්ම මේ වරද කළ තැනැත්තාට (ආදිකම්මිකයාට) ද ඇවැත් නැත.
පස්වන ශික්ෂාපදය යි.