4. 2. 3.
තෙවන ශික්ෂාපදය
1. සැවැත් නුවරදී පැනවූ ශික්ෂාපදයයි – එකල භද්‍රා කාපිලානී භික්ෂුණියගේ ශිෂ්‍ය භික්ෂුණියකගේ නෑදෑ පුරුෂයෙක් කිසියම් අවශ්‍ය කටයුත්තක් සඳහා ගමේ සිට සැවැත් නුවරට පැමිණියේ ය. එවිට ඒ භික්ෂුණිය, “වැසුණු තැනක තනිව සිටින පිරිමියෙකු සමඟ තනිව එකට සිටීමත් කතාබස් කිරීමත් භාග්‍යවතුන් වහන්සේ විසින් තහනම් කරන ලදැ”යි සිතා, තනිව සිටින ඒ පිරිමියා සමඟ ම එළිමහනේ තනිව එකට සිටීම ද කරයි; කතාබස් ද කරයි.
2. අල්පේච්ඡ (ආශා අඩු) වූ යම් ඒ භික්ෂුණීහු වෙත් ද -පෙ- ඔවුහු හෙළා දකිති, නුගුණ කියති, දොස් පතුරුවති: “කෙසේ නම් භික්ෂුණියක් එළිමහනේ තනිව සිටින පිරිමියෙකු සමඟ තනිව එකට සිටීමත් කරන්නී ද? කතාබස් කිරීමත් කරන්නී ද?” -පෙ- “මහණෙනි, භික්ෂුණියක් එළිමහනේ තනිව සිටින පිරිමියෙකු සමඟ තනිව එකට සිටීමත් කරයි ද, කතාබස් කිරීමත් කරයි ද යන්න සැබෑ ද?” “සැබෑ ය, භාග්‍යවතුන් වහන්ස.” භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ගැරහූ සේක. -පෙ- “මහණෙනි, කෙසේ නම් භික්ෂුණියක් එළිමහනේ තනිව සිටින පිරිමියෙකු සමඟ තනිව එකට සිටීමත් කරන්නී ද? කතාබස් කිරීමත් කරන්නී ද? මහණෙනි, මෙය නොපැහැදුණු අයගේ පැහැදීම පිණිස හෝ නොවේ. -පෙ- මහණෙනි, භික්ෂුණීහු මේ ශික්ෂාපදය මෙසේ උදෙසිය යුතු ය (ප්‍රකාශ කළ යුතු ය):
“යම් භික්ෂුණියක් එළිමහනේ තනිව සිටින පිරිමියෙකු සමඟ තනිව එකට සිටියි නම් හෝ කතාබස් කරයි නම් හෝ පාචිත්තිය ඇවැත් වේ.”
3. යා පන (යම්): යම්, යම් බඳු -පෙ- භික්ඛුනී (භික්ෂුණිය): -පෙ- මේ අර්ථයෙහි අදහස් කරන ලද්දේ මේ භික්ෂුණිය යි.
අජ්ඣොකාස (එළිමහන) නම්: බිත්තියකින් හෝ කවුළුවකින් හෝ පැදුරකින් හෝ තිර රෙදි වැටකින් හෝ ගසකින් හෝ කණුවකින් හෝ කොතැලියකින් හෝ වෙනත් කිසිවකින් හෝ නොවැසුණු තැනකි.
පුරිස (පිරිමියා) නම්: මිනිස් පිරිමියෙකි; යක්ෂයෙකු නොවේ, ප්‍රේතයෙකු නොවේ, තිරිසනෙකු නොවේ. එකට සිටීමට, කතාබස් කිරීමට හැකි, දැනුම ඇති කෙනෙකි.
සද්ධිං (සමඟ): එකට.
එකෙනෙකා (තනිව): පිරිමියා ද සිටියි, භික්ෂුණිය ද සිටියි.
සන්තිට්ඨෙය්‍ය වා (එකට සිටියි නම් හෝ): පිරිමියාගේ අත්පසෙහි සිටියි නම් පාචිත්තිය ඇවැත් වේ.
සල්ලපෙය්‍ය වා (කතාබස් කරයි නම් හෝ): පිරිමියාගේ අත්පසෙහි සිට කතාබස් කරයි නම් පාචිත්තිය ඇවැත් වේ.
අත්පසින් ඉවත් වී එකට සිටියි නම් හෝ කතාබස් කරයි නම් හෝ දුක්කට ඇවැත් වේ. යක්ෂයෙකු හෝ ප්‍රේතයෙකු හෝ පණ්ඩකයෙකු (නපුංසකයෙකු) හෝ මිනිස් වෙසක් ගත් තිරිසනෙකු හෝ සමඟ එකට සිටියි නම් හෝ කතාබස් කරයි නම් හෝ දුක්කට ඇවැත් වේ.
ඇවැත් නැත: දැනුම ඇති යම් කිසි දෙවැන්නෙක් සිටී නම් ද, හුදෙකලාවක් නොකැමැති ව, වෙනත් දෙයකට සිත යොමු වී සිට එකට සිටියි නම් හෝ කතාබස් කරයි නම් හෝ ඇවැත් නැත. සිහි විකල් වූවෙකුට ද -පෙ- මුලින්ම මේ වරද කළ තැනැත්තාට (ආදිකම්මිකයාට) ද ඇවැත් නැත.
තෙවන ශික්ෂාපදය යි.