4. 1. 8.
අටවන ශික්ෂාපදය
1. සැවැත් නුවරදී පැනවූ ශික්‍ෂාපදයයි – එකල්හි එක්තරා බමුණෙක්, රජුට කප්පමක් ගෙවා රජ සේවයේ තනතුරක් ලබා සිටි රාජ සේවකයෙක් විය. ඔහු “ඒ තනතුර ම නැවත ඉල්ලා ගන්නෙමි” යි සිතා හිස සෝදා නා, භික්ෂුණී ආරාමය අසලින් රජ ගෙදරට යයි. එක්තරා භික්ෂුණියක් කබලක මළපහ කොට, එය බිත්තියෙන් එපිටට දමද්දී, ඒ බමුණාගේ හිස මතට හෙළුවා ය. එවිට ඒ බමුණා හෙළා දකියි, නුගුණ කියයි, දොස් පතුරුවයි: “හිස මුඩු කළ, ශ්රමණියන් නොවන මේ වඳ ගැහැනුන් කෙසේ නම් අසුචි බඳුනක් හිස මතට හෙළත් ද? මොවුන්ගේ භික්ෂුණී ආරාමය ගිනි තබා දවන්නෙමි” යි ගිනි හුලක් ගෙන භික්ෂුණී ආරාමයට ඇතුළු වෙයි. එක්තරා උපාසකයෙක් භික්ෂුණී ආරාමයෙන් පිටතට එද්දී, ගිනි හුලක් ගෙන භික්ෂුණී ආරාමයට ඇතුළු වන ඒ බමුණා දුටුවේ ය. දැක ඒ බමුණාට “පින්වත, ඔබ කුමක් නිසා ගිනි හුලක් ගෙන භික්ෂුණී ආරාමයට ඇතුළු වන්නෙහි ද?” යි කීවේ ය. “පින්වත, හිස මුඩු කළ මේ වඳ ගැහැනුන් අසුචි බඳුනක් මගේ හිස මතට හෙළුවෝ ය. මොවුන්ගේ භික්ෂුණී ආරාමය ගිනි තබා දවන්නෙමි” යි. “පින්වත් බමුණ, යන්න. මෙය සුබ ලකුණකි (මඟුලකි). ඔබ දහසක් ද ඒ තනතුර ද ලබන්නෙහි ය” යි. ඉක්බිති ඒ බමුණා හිස සෝදා නා, රජ ගෙදරට ගොස් දහසක් ද ඒ තනතුර ද ලැබුවේ ය.
2. ඉක්බිති ඒ උපාසකයා භික්ෂුණී ආරාමයට ඇතුළු වී භික්ෂුණීන්ට මේ කරුණ දන්වා, (නැවත මෙවැන්නක් නොකරන්නැ යි) බිය ගැන්වී ය. අල්පේච්ඡ (ආශා අඩු) වූ යම් ඒ භික්ෂුණීහු වෙත් ද -පෙ- ඔවුහු හෙළා දකිති, නුගුණ කියති, දොස් පතුරුවති: “කෙසේ නම් භික්ෂුණියක් මළපහ බිත්තියෙන් එපිටට දමන්නී ද?” යි -පෙ- “මහණෙනි, භික්ෂුණියක් මළපහ බිත්තියෙන් එපිටට දැමුවා යනු සැබෑ ද?” “සැබෑ ය, භාග්‍යවතුන් වහන්ස.” භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ගැරහූ සේක. -පෙ- “මහණෙනි, කෙසේ නම් භික්ෂුණියක් මළපහ බිත්තියෙන් එපිටට දමන්නී ද? මහණෙනි, මෙය නොපැහැදුණු අයගේ පැහැදීම පිණිස හෝ නොවේ -පෙ- මහණෙනි, භික්ෂුණීහු මේ ශික්ෂාපදය මෙසේ උදෙසිය යුතු ය (ප්‍රකාශ කළ යුතු ය):
“යම් භික්ෂුණියක් මළපහ හෝ මුත්‍රා හෝ කසළ හෝ ඉඳුල් හෝ බිත්තියෙන් එපිටට හෝ පවුරෙන් එපිටට හෝ දමයි නම් හෝ දමවයි නම් හෝ පාචිත්තිය ඇවැත් වේ” යි.
3. යා පන (යම්): යම්, යම් බඳු -පෙ- භික්ඛුනී (භික්ෂුණිය): -පෙ- මේ අර්ථයෙහි අදහස් කරන ලද්දේ මේ භික්ෂුණිය යි.
උච්චාර නම්: මළපහ (අසුචි) කියනු ලැබේ.
පස්සාව නම්: මුත්‍රා කියනු ලැබේ.
සඞ්කාර නම්: කසළ කියනු ලැබේ.
විඝාස නම්: සපා ඉවත දැමූ කෑම කොටස් හෝ ඇට හෝ ඉඳුල් වතුර හෝ ය.
කුඩ්ඩ (බිත්තිය) නම්: ගඩොල් බිත්තිය, ගල් බිත්තිය, ලී බිත්තිය යි බිත්ති තුනකි.
පාකාර (පවුර) නම්: ගඩොල් පවුර, ගල් පවුර, ලී පවුර යි පවුරු තුනකි.
තිරොකුඩ්ඩෙ: බිත්තියෙන් එපිට;
තිරොපාකාරෙ: පවුරෙන් එපිට;
ඡඩ්ඩෙය්ය (දමයි නම්): තමා ම දමයි නම් පාචිත්තිය ඇවැත් වේ.
ඡඩ්ඩාපෙය්ය (දමවයි නම්): අන් කෙනෙකුට අණ කරයි නම් දුක්කට ඇවැත් වේ. එක් වරක් අණ කරනු ලැබූ තැනැත්තී බොහෝ වාර ගණනක් දමයි නමුත් (අණ කළ භික්ෂුණියට) පාචිත්තිය ඇවැත් වේ.
ඇවැත් නැත: බලා දමයි නම්, (මිනිසුන්) ගමන් නොකරන තැනක දමයි නම් ඇවැත් නැත. සිහි විකල් වූවෙකුට ද -පෙ- මුලින්ම මේ වරද කළ තැනැත්තාට (ආදිකම්මිකයාට) ද ඇවැත් නැත.
අටවන ශික්ෂාපදය යි.
4. 1. 9.
නවවන ශික්ෂාපදය
1. සැවැත් නුවරදී පැනවූ ශික්‍ෂාපදයයි – ඒ කාලයේ එක්තරා බමුණෙකුගේ යව කෙතක් භික්ෂුණී ආරාමයක් ඇසුරු කොට (ඒ අසල) තිබුණේ ය. භික්ෂුණීහු මළපහ ද මුත්‍රා ද කසළ ද ඉඳුල් ද නිල්වන් ගොයම්වලට දැමූහ. එවිට ඒ බමුණා හෙළා දකියි, නුගුණ කියයි, දොස් පතුරුවයි: “කෙසේ නම් භික්ෂුණීහු අපගේ යව කෙත දූෂණය කරත් ද?”
2. හෙළා දකින, නුගුණ කියන, දොස් පතුරුවන ඒ බමුණාගේ (අපකීර්ති වචන) භික්ෂුණීහු ඇසූහ. අල්පේච්ඡ (ආශා අඩු) වූ යම් ඒ භික්ෂුණීහු වෙත් ද -පෙ- ඔවුහු හෙළා දකිති, නුගුණ කියති, දොස් පතුරුවති: “කෙසේ නම් භික්ෂුණීහු මළපහ ද මුත්‍රා ද කසළ ද ඉඳුල් ද නිල්වන් ගොයම්වලට දමත් ද?” -පෙ- “මහණෙනි, භික්ෂුණීහු මළපහ ද මුත්‍රා ද කසළ ද ඉඳුල් ද නිල්වන් ගොයම්වලට දමති යන්න සැබෑ ද?” “සැබෑ ය, භාග්‍යවතුන් වහන්ස.” භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ගැරහූ සේක. -පෙ- “මහණෙනි, කෙසේ නම් භික්ෂුණීහු මළපහ ද මුත්‍රා ද කසළ ද ඉඳුල් ද නිල්වන් ගොයම්වලට දමත් ද? මහණෙනි, මෙය නොපැහැදුණු අයගේ පැහැදීම පිණිස හෝ නොවේ. -පෙ- මහණෙනි, භික්ෂුණීහු මේ ශික්ෂාපදය මෙසේ උදෙසිය යුතු ය (ප්‍රකාශ කළ යුතු ය):