4. 1. 9.
නවවන ශික්ෂාපදය
1. සැවැත් නුවරදී පැනවූ ශික්‍ෂාපදයයි – ඒ කාලයේ එක්තරා බමුණෙකුගේ යව කෙතක් භික්ෂුණී ආරාමයක් ඇසුරු කොට (ඒ අසල) තිබුණේ ය. භික්ෂුණීහු මළපහ ද මුත්‍රා ද කසළ ද ඉඳුල් ද නිල්වන් ගොයම්වලට දැමූහ. එවිට ඒ බමුණා හෙළා දකියි, නුගුණ කියයි, දොස් පතුරුවයි: “කෙසේ නම් භික්ෂුණීහු අපගේ යව කෙත දූෂණය කරත් ද?”
2. හෙළා දකින, නුගුණ කියන, දොස් පතුරුවන ඒ බමුණාගේ (අපකීර්ති වචන) භික්ෂුණීහු ඇසූහ. අල්පේච්ඡ (ආශා අඩු) වූ යම් ඒ භික්ෂුණීහු වෙත් ද -පෙ- ඔවුහු හෙළා දකිති, නුගුණ කියති, දොස් පතුරුවති: “කෙසේ නම් භික්ෂුණීහු මළපහ ද මුත්‍රා ද කසළ ද ඉඳුල් ද නිල්වන් ගොයම්වලට දමත් ද?” -පෙ- “මහණෙනි, භික්ෂුණීහු මළපහ ද මුත්‍රා ද කසළ ද ඉඳුල් ද නිල්වන් ගොයම්වලට දමති යන්න සැබෑ ද?” “සැබෑ ය, භාග්‍යවතුන් වහන්ස.” භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ගැරහූ සේක. -පෙ- “මහණෙනි, කෙසේ නම් භික්ෂුණීහු මළපහ ද මුත්‍රා ද කසළ ද ඉඳුල් ද නිල්වන් ගොයම්වලට දමත් ද? මහණෙනි, මෙය නොපැහැදුණු අයගේ පැහැදීම පිණිස හෝ නොවේ. -පෙ- මහණෙනි, භික්ෂුණීහු මේ ශික්ෂාපදය මෙසේ උදෙසිය යුතු ය (ප්‍රකාශ කළ යුතු ය):
“යම් භික්ෂුණියක් මළපහ හෝ මුත්‍රා හෝ කසළ හෝ ඉඳුල් හෝ නිල්වන් ගොයම්වලට දමයි නම් හෝ දමවයි නම් හෝ පාචිත්තිය ඇවැත් වේ.”
3. යා පන (යම්): යම්, යම් බඳු -පෙ- භික්ඛුනී (භික්ෂුණිය): -පෙ- මේ අර්ථයෙහි අදහස් කරන ලද්දේ මේ භික්ෂුණිය යි.
උච්චාර නම්: මළපහ (අසුචි) යැයි කියනු ලැබේ.
පස්සාව නම්: මුත්‍රා යැයි කියනු ලැබේ.
සඞ්කාර නම්: කසළ යැයි කියනු ලැබේ.
විඝාස නම්: සපා ඉවත දැමූ කෑම කොටස් හෝ ඇට හෝ ඉඳුල් වතුර හෝ ය.
හරිත නම්: මිනිසුන්ගේ ආහාරයට හා පරිහරණයට පිණිස වවන ලද පූර්වාන්න (ප්‍රධාන ධාන්‍ය) හා අපරාන්න (අතුරු ධාන්‍ය) යි.
ඡඩ්ඩෙය්ය (දමයි නම්): තමා ම දමයි නම් පාචිත්තිය ඇවැත් වේ.
ඡඩ්ඩාපෙය්ය (දමවයි නම්): අන් කෙනෙකුට අණ කරයි නම් දුක්කට ඇවැත් වේ. එක් වරක් අණ කරනු ලැබූ තැනැත්තී බොහෝ වාර ගණනක් දමයි නමුත් (අණ කළ භික්ෂුණියට) පාචිත්තිය ඇවැත් වේ.
නිල්වන් ගොයම් ඇති තැනක, නිල්වන් ගොයම් යැයි හඟිමින් දමයි නම් හෝ දමවයි නම් හෝ පාචිත්තිය ඇවැත් වේ. නිල්වන් ගොයම් ඇති තැනක, සැක සහිත ව දමයි නම් හෝ දමවයි නම් හෝ පාචිත්තිය ඇවැත් වේ. නිල්වන් ගොයම් ඇති තැනක, නිල්වන් ගොයම් නොවේ යැයි හඟිමින් දමයි නම් හෝ දමවයි නම් හෝ පාචිත්තිය ඇවැත් වේ.
නිල්වන් ගොයම් නැති තැනක, නිල්වන් ගොයම් යැයි හඟී නම් දුක්කට ඇවැත් වේ. නිල්වන් ගොයම් නැති තැනක, සැක සහිත වේ නම් දුක්කට ඇවැත් වේ. නිල්වන් ගොයම් නැති තැනක, නිල්වන් ගොයම් නොවේ යැයි හඟී නම් ඇවැත් නැත.
ඇවැත් නැත: අත්හැර දමන ලද කෙතක දමයි නම්, අයිතිකරුවන්ගෙන් අවසර ඉල්ලා දමයි නම් ඇවැත් නැත. සිහි විකල් වූවෙකුට ද -පෙ- මුලින්ම මේ වරද කළ තැනැත්තාට (ආදිකම්මිකයාට) ද ඇවැත් නැත.
නවවන ශික්ෂාපදය යි.
4. 1. 10.
දසවන ශික්ෂාපදය
1. ඒ කාලයේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ රජගහ නුවර වේළුවන නම් වූ කලන්දක නිවාපයෙහි (ලේනුන්ට ආහාර දෙන තැන) වැඩ වාසය කළ සේක. ඒ කාලයේ රජගහ නුවර ගිරග්ග සමජ්ජය නම් නැටුම් උත්සවයක් පැවැත්විණි. ෂඩ්වර්ගික (හය දෙනෙකුගේ කණ්ඩායමේ) භික්ෂුණීහු ඒ ගිරග්ග සමජ්ජය බලනු පිණිස ගියහ. මිනිස්සු හෙළා දකිති, නුගුණ කියති, දොස් පතුරුවති: “කාමසැප විඳින ගිහි කාන්තාවන් මෙන් කෙසේ නම් භික්ෂුණීහු නැටුම් ද ගැයුම් ද වැයුම් ද බලනු පිණිස එත් ද?”