4. 1. 7.
සත්වන ශික්ෂාපදය
1. සැවැත් නුවරදී පැනවූ ශික්‍ෂාපදයයි – ඒ කාලයේ භික්ෂුණීහු අස්වනු කාලයේ අමු ධාන්‍ය ඉල්ලා නුවරට ගෙන එති. (නුවර) දොරටුව අසල “ආර්යාවෙනි, කොටසක් දෙන්න” යි (ඔවුන්ට) බාධා කොට (පසුව) මුදා හැරියහ. එවිට ඒ භික්ෂුණීහු භික්ෂුණී ආරාමයට ගොස් භික්ෂුණීන්ට මේ කරුණ දැනුම් දුන්හ.
2. අල්පේච්ඡ (ආශා අඩු) වූ යම් ඒ භික්ෂුණීහු වෙත් ද -පෙ- ඔවුහු හෙළා දකිති, නුගුණ කියති, දොස් පතුරුවති: “කෙසේ නම් භික්ෂුණීහු අමු ධාන්‍ය ඉල්ලන්නාහු ද?” -පෙ- “මහණෙනි, භික්ෂුණීහු අමු ධාන්‍ය ඉල්ලන බව සැබෑ ද?” “සැබෑ ය, භාග්‍යවතුන් වහන්ස.” භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ගැරහූ සේක. -පෙ- “මහණෙනි, කෙසේ නම් භික්ෂුණීහු අමු ධාන්‍ය ඉල්ලන්නාහු ද? මහණෙනි, මෙය නොපැහැදුණු අයගේ පැහැදීම පිණිස හෝ නොවේ. -පෙ- මහණෙනි, භික්ෂුණීහු මේ ශික්ෂාපදය මෙසේ උදෙසිය යුතු ය (ප්‍රකාශ කළ යුතු ය):
“යම් භික්ෂුණියක් අමු ධාන්‍ය ඉල්ලා හෝ ඉල්ලවා හෝ, බැද හෝ බදවා හෝ, කොටා හෝ කොටවා හෝ, පිස හෝ පිසවා හෝ වළඳයි නම් පාචිත්තිය ඇවැත් වේ” යි.
3. යා පන (යම්): යම්, යම් බඳු -පෙ- භික්ඛුනී (භික්ෂුණිය): -පෙ- මේ අර්ථයෙහි අදහස් කරන ලද්දේ මේ භික්ෂුණිය යි.
ආමකධඤ්ඤ (අමු ධාන්‍ය) නම්: හැල්, වී, යව, තිරිඟු, කඞ්ගු (තණහාල්), වරා, අමු ය.
විඤ්ඤාපෙත්වා (ඉල්ලා): තමා ම ඉල්ලා.
විඤ්ඤාපාපෙත්වා (ඉල්ලවා): අනුන් ලවා ඉල්ලවා.
භජ්ජිත්වා (බැද): තමා ම බැද.
භජ්ජාපෙත්වා (බදවා): අනුන් ලවා බදවා.
කොට්ටෙත්වා (කොටා): තමා ම කොටා.
කොට්ටාපෙත්වා (කොටවා): අනුන් ලවා කොටවා.
පචිත්වා (පිස): තමා ම පිස.
පචාපෙත්වා (පිසවා): අනුන් ලවා පිසවා. වළඳන්නෙමි යි පිළිගනියි නම් දුක්කට ඇවැත් වේ. ගිලින ගිලින වාරයක් පාසා පාචිත්තිය ඇවැත් වේ.
ඇවැත් නැත: රෝගයක් හේතුවෙන් ඉල්ලයි නම්, (මුං, උඳු ආදී) අපරණ්ණ (ධාන්‍ය නොවන අනෙක් බෝග) ඉල්ලයි නම් ඇවැත් නැත. සිහි විකල් වූවෙකුට ද -පෙ- මුලින්ම මේ වරද කළ තැනැත්තාට (ආදිකම්මිකයාට) ද ඇවැත් නැත.
සත්වන ශික්ෂාපදය.