4. 1. 6.
සවන ශික්ෂාපදය
1. සැවැත් නුවරදී පැනවූ ශික්‍ෂාපදයයි – ඒ කාලයේ ආරෝහන්ත නම් මහ ඇමතියෙක් භික්ෂූන් අතර පැවිදි වී සිටියේ ය. ඔහුගේ පෙර බිරිඳ භික්ෂුණීන් අතර පැවිදි වී සිටියා ය. ඒ කාලයේ ඒ භික්ෂුව ඒ භික්ෂුණිය ළඟ දන් වළඳයි. එවිට ඒ භික්ෂුණිය, වළඳන ඒ භික්ෂුවට පැනින් ද තල්වැටින් පවන් සැලීමෙන් ද (උපස්ථාන කරමින්) ළඟ සිට, (පැවිදි අයට සුදුසු පැවතුම) ඉක්මවා (පස්කම් සැපයට ඇලුණු ගිහි) කතා කියයි. එවිට ඒ භික්ෂුව “නැගණිය, මෙබඳු දෙයක් නොකරන්න. මෙය සුදුසු නැත” යි ඒ භික්ෂුණියට අප්‍රසාදය පළ කළේ ය. “පෙර නුඹ මට මෙසේත් මෙසේත් කළෙහි ය. දැන් මෙපමණකුත් නොඉවසන්නෙහි ය” යි (කියා ඒ භික්ෂුණිය) පැන් තලිය ඔහුගේ හිස මතට පෙරළා තල්වැටින් පහර දුන්නා ය.
2. අල්පේච්ඡ (ආශා අඩු) වූ යම් ඒ භික්ෂුණීහු වෙත් ද -පෙ- ඔවුහු හෙළා දකිති, නුගුණ කියති, දොස් පතුරුවති: “කෙසේ නම් භික්ෂුණියක් භික්ෂුවකට පහර දෙන්නී ද?” -පෙ- “මහණෙනි, භික්ෂුණියක් භික්ෂුවකට පහර දුන් බව සැබෑ ද?” “සැබෑ ය, භාග්‍යවතුන් වහන්ස.” භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ගැරහූ සේක. -පෙ- “මහණෙනි, කෙසේ නම් භික්ෂුණියක් භික්ෂුවකට පහර දෙන්නී ද? මහණෙනි, මෙය නොපැහැදුණු අයගේ පැහැදීම පිණිස හෝ නොවේ. -පෙ- මහණෙනි, භික්ෂුණීහු මේ ශික්ෂාපදය මෙසේ උදෙසිය යුතු ය (ප්‍රකාශ කළ යුතු ය):
“යම් භික්ෂුණියක් වළඳන භික්ෂුවකට පැනින් හෝ තල්වැටින් හෝ උපස්ථාන කරමින් ළඟ එළඹ සිටියි නම් පාචිත්තිය ඇවැත් වේ” යි.
3. යා පන (යම්): යම්, යම් බඳු -පෙ- භික්ඛුනී (භික්ෂුණිය): -පෙ- මේ අර්ථයෙහි අදහස් කරන ලද්දේ මේ භික්ෂුණිය යි.
භික්ඛුස්ස (භික්ෂුවකට): උපසම්පදාව ලත් භික්ෂුවකට.
භුඤ්ජන්තස්ස (වළඳන්නාට): පස් වැදෑරුම් භෝජනවලින් එක්තරා භෝජනයක් වළඳන්නාට.
පානීය නම්: බිය යුතු යම්කිසි දෙයක් (පිරිසිදු ජලය හෝ මෝරු, දී කිරි වතුර, යුෂ, කිරි ආදියෙන් එකක්).
විධූපන නම්: යම්කිසි විජිනියක් (පවන් සලන දෙයක්).
උපතිට්ඨෙය්ය (ළඟ එළඹ සිටියි නම්): අත්පසෙහි (අත දිගු කොට ළඟා විය හැකි දුර ඇතුළත) සිටියි නම් පාචිත්තිය ඇවැත් වේ.
උපසම්පදාව ලත් කෙනෙකු කෙරෙහි උපසම්පදාව ලත් කෙනෙකු යැයි හැඟීම ඇතිව පැනින් හෝ විජිනියෙන් හෝ උපස්ථාන කරමින් ළඟ සිටියි නම් පාචිත්තිය ඇවැත් වේ. උපසම්පදාව ලත් කෙනෙකු කෙරෙහි සැකයෙන් යුතුව පැනින් හෝ විජිනියෙන් හෝ උපස්ථාන කරමින් ළඟ සිටියි නම් පාචිත්තිය ඇවැත් වේ. උපසම්පදාව ලත් කෙනෙකු කෙරෙහි උපසම්පදාව නොලත් කෙනෙකු යැයි හැඟීම ඇතිව පැනින් හෝ විජිනියෙන් හෝ උපස්ථාන කරමින් ළඟ සිටියි නම් පාචිත්තිය ඇවැත් වේ.
අත්පස හැර (ඉන් පිටත) ළඟ සිටියි නම් දුක්කට ඇවැත් වේ. කෑ යුතු දෙයක් (ඛාදනීයයක්) කන්නෙකු ළඟ සිටියි නම් දුක්කට ඇවැත් වේ. උපසම්පදාව නොලත් කෙනෙකු ළඟ සිටියි නම් දුක්කට ඇවැත් වේ. උපසම්පදාව නොලත් කෙනෙකු කෙරෙහි උපසම්පදාව ලත් කෙනෙකු යැයි හැඟීම ඇත්නම් දුක්කට ඇවැත් වේ. උපසම්පදාව නොලත් කෙනෙකු කෙරෙහි සැකයෙන් යුතු නම් දුක්කට ඇවැත් වේ. උපසම්පදාව නොලත් කෙනෙකු කෙරෙහි උපසම්පදාව නොලත් කෙනෙකු යැයි හැඟීම ඇත්නම් දුක්කට ඇවැත් වේ.
ඇවැත් නැත: (පැන් හෝ විජිනිය) දෙයි නම්, (අනුන් ලවා) දෙවයි නම්, උපසම්පදාව නොලත් කෙනෙකුට අණ කරයි නම් ඇවැත් නැත. සිහි විකල් වූවෙකුට ද -පෙ- මුලින්ම මේ වරද කළ තැනැත්තාට (ආදිකම්මිකයාට) ද ඇවැත් නැත.
සවන ශික්ෂාපදය යි.
4. 1. 7.
සත්වන ශික්ෂාපදය
1. සැවැත් නුවරදී පැනවූ ශික්‍ෂාපදයයි – ඒ කාලයේ භික්ෂුණීහු අස්වනු කාලයේ අමු ධාන්‍ය ඉල්ලා නුවරට ගෙන එති. (නුවර) දොරටුව අසල “ආර්යාවෙනි, කොටසක් දෙන්න” යි (ඔවුන්ට) බාධා කොට (පසුව) මුදා හැරියහ. එවිට ඒ භික්ෂුණීහු භික්ෂුණී ආරාමයට ගොස් භික්ෂුණීන්ට මේ කරුණ දැනුම් දුන්හ.