4. 1. 5.
පස්වන ශික්ෂාපදය
1. ඒ කාලයේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ශාක්‍ය ජනපදයෙහි කිඹුල්වත් පුරයෙහි නුගරුක් ආරාමයෙහි වැඩ වාසය කරන සේක. එවිට මහාප්‍රජාපතී ගෝතමිය භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණියා ය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට ආදරයෙන් වැඳ, “භාග්‍යවතුන් වහන්ස, ස්ත්‍රීන් දුගඳ ඇත්තෝ ය” යි සුළඟ හමා යන පැත්තේ සිටියා ය. එවිට භාග්‍යවතුන් වහන්සේ “භික්ෂුණීහු ජලයෙන් පිරිසිදු කිරීම (උදකශුද්ධිකය) කරත්වා” යි (අදහස් කොට) මහාප්‍රජාපතී ගෝතමියට ධර්ම කතාවෙන් මනාව කරුණු පෙන්වා දුන් සේක, මනාව ඒ කරුණු පිළිගැන්වූ සේක, මනාව උත්සාහය ඇති කළ සේක, මනාව සතුටු කළ සේක. එවිට භාග්‍යවතුන් වහන්සේ විසින් ධර්ම කතාවෙන් මනාව කරුණු පෙන්වා දෙන ලද, මනාව කරුණු පිළිගන්වන ලද, මනාව උත්සාහය ඇති කරන ලද, මනාව සතුටු කරන ලද මහාප්‍රජාපතී ගෝතමිය භාග්‍යවතුන් වහන්සේට ආදරයෙන් වැඳ පැදකුණු කොට නික්ම ගියා ය.
2. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ කරුණෙහි, මේ අවස්ථාවෙහි ධර්ම කතාවක් කොට භික්ෂූන් ඇමතූ සේක: “මහණෙනි, භික්ෂුණීන්ට ජලයෙන් පිරිසිදු කිරීම (උදකශුද්ධිකය) අනුමත කරමි” යි. ඒ කාලයේ එක්තරා භික්ෂුණියක් ‘භාග්‍යවතුන් වහන්සේ උදකශුද්ධිකය අනුදැන වදාළ සේක’ යි සිතා ඉතා ගැඹුරට (ඉතා ඇතුළට ඇතුළු කොට ජලයෙන් සෝදමින්) උදකශුද්ධිකය කරන්නී මුත්‍රා මාර්ගයෙහි තුවාලයක් කර ගත්තා ය. එවිට ඒ භික්ෂුණිය මේ කරුණ භික්ෂුණීන්ට දැන්වූවා ය.
3. අල්පේච්ඡ (ආශා අඩු) වූ යම් ඒ භික්ෂුණීහු වෙත් ද -පෙ- ඔවුහු හෙළා දකිති, නුගුණ කියති, දොස් පතුරුවති: “කෙසේ නම් භික්ෂුණියක් ඉතා ගැඹුරට උදකශුද්ධිකය කරන්නී දැ?” යි. -පෙ- “මහණෙනි, භික්ෂුණියක් ඉතා ගැඹුරට උදකශුද්ධිකය කළා ය යනු සැබෑ ද?” “සැබෑ ය, භාග්‍යවතුන් වහන්ස.” භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ගැරහූ සේක. -පෙ- “මහණෙනි, කෙසේ නම් භික්ෂුණියක් ඉතා ගැඹුරට උදකශුද්ධිකය කරන්නී ද? මහණෙනි, මෙය නොපැහැදුණු අයගේ පැහැදීම පිණිස හෝ නොවේ -පෙ- මහණෙනි, භික්ෂුණීහු මේ ශික්ෂාපදය මෙසේ උදෙසිය යුතු ය (ප්‍රකාශ කළ යුතු ය):
“උදකශුද්ධිකය කරන භික්ෂුණිය විසින් ඇඟිලි දෙකක පුරුක් දෙකක් උපරිම කොට ගත යුතු ය. එය ඉක්මවන්නියට පාචිත්තිය ඇවැත් වේ” යි.
4. උදකශුද්ධිකය නම්: මුත්‍රා මාර්ගය ජලයෙන් සේදීම කියනු ලැබේ.
ආදියමානාය (කරන): සෝදන්නිය විසින්.
ද්වඞ්ගුලපබ්බපරමං ආදාතබ්බං (ඇඟිලි දෙකක පුරුක් දෙකක් උපරිම කොට ගත යුතු ය): ඇඟිලි දෙකෙහි පුරුක් දෙකක් උපරිම කොට ගත යුතු ය.
තං අතික්කාමෙන්තියා (එය ඉක්මවන්නියට): ස්පර්ශය රස විඳිමින් අඩුම තරමින් කෙස් අගක් පමණ වුව ද ඉක්මවයි නම් පාචිත්තිය ඇවැත් වේ.
ඇඟිලි දෙකක පුරුක් දෙකට වඩා වැඩි වූ විට, වැඩි යැයි හැඟීම ඇතිව කරයි නම් පාචිත්තිය ඇවැත් වේ. ඇඟිලි දෙකක පුරුක් දෙකට වඩා වැඩි වූ විට, සැකයෙන් යුතුව කරයි නම් පාචිත්තිය ඇවැත් වේ. ඇඟිලි දෙකක පුරුක් දෙකට වඩා වැඩි වූ විට, අඩු යැයි හැඟීම ඇතිව කරයි නම් පාචිත්තිය ඇවැත් වේ.
ඇඟිලි දෙකක පුරුක් දෙකට වඩා අඩු වූ විට, වැඩි යැයි හැඟීම ඇතිව කරයි නම් දුක්කට ඇවැත් වේ. ඇඟිලි දෙකක පුරුක් දෙකට වඩා අඩු වූ විට, සැකයෙන් යුතුව කරයි නම් දුක්කට ඇවැත් වේ. ඇඟිලි දෙකක පුරුක් දෙකට වඩා අඩු වූ විට, අඩු යැයි හැඟීම ඇතිව කරයි නම් ඇවැත් නැත.
ඇවැත් නැත: ඇඟිලි දෙකක පුරුක් දෙකක් උපරිම කොට කරයි නම්, ඇඟිලි දෙකක පුරුක් දෙකකට වඩා අඩුවෙන් කරයි නම්, රෝගයක් හේතුවෙන් කරයි නම් ඇවැත් නැත. සිහි විකල් වූවෙකුට ද -පෙ- මුලින්ම මේ වරද කළ තැනැත්තාට (ආදිකම්මිකයාට) ද ඇවැත් නැත.
පස්වන ශික්ෂාපදය යි.
4. 1. 6.
සවන ශික්ෂාපදය
1. සැවැත් නුවරදී පැනවූ ශික්ෂාපදයයි – ඒ කාලයේ ආරෝහන්ත නම් මහ ඇමතියෙක් භික්ෂූන් අතර පැවිදි වී සිටියේ ය. ඔහුගේ පෙර බිරිඳ භික්ෂුණීන් අතර පැවිදි වී සිටියා ය. ඒ කාලයේ ඒ භික්ෂුව ඒ භික්ෂුණිය ළඟ දන් වළඳයි. එවිට ඒ භික්ෂුණිය, වළඳන ඒ භික්ෂුවට පැනින් ද තල්වැටින් පවන් සැලීමෙන් ද (උපස්ථාන කරමින්) ළඟ සිට, (පැවිදි අයට සුදුසු පැවතුම) ඉක්මවා (පස්කම් සැපයට ඇලුණු ගිහි) කතා කියයි. එවිට ඒ භික්ෂුව “නැගණිය, මෙබඳු දෙයක් නොකරන්න. මෙය සුදුසු නැත” යි ඒ භික්ෂුණියට අප්‍රසාදය පළ කළේ ය. “පෙර නුඹ මට මෙසේත් මෙසේත් කළෙහි ය. දැන් මෙපමණකුත් නොඉවසන්නෙහි ය” යි (කියා ඒ භික්ෂුණිය) පැන් තලිය ඔහුගේ හිස මතට පෙරළා තල්වැටින් පහර දුන්නා ය.
2. අල්පේච්ඡ (ආශා අඩු) වූ යම් ඒ භික්ෂුණීහු වෙත් ද -පෙ- ඔවුහු හෙළා දකිති, නුගුණ කියති, දොස් පතුරුවති: “කෙසේ නම් භික්ෂුණියක් භික්ෂුවකට පහර දෙන්නී ද?” -පෙ- “මහණෙනි, භික්ෂුණියක් භික්ෂුවකට පහර දුන් බව සැබෑ ද?” “සැබෑ ය, භාග්‍යවතුන් වහන්ස.” භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ගැරහූ සේක. -පෙ- “මහණෙනි, කෙසේ නම් භික්ෂුණියක් භික්ෂුවකට පහර දෙන්නී ද? මහණෙනි, මෙය නොපැහැදුණු අයගේ පැහැදීම පිණිස හෝ නොවේ. -පෙ- මහණෙනි, භික්ෂුණීහු මේ ශික්ෂාපදය මෙසේ උදෙසිය යුතු ය (ප්‍රකාශ කළ යුතු ය):
“යම් භික්ෂුණියක් වළඳන භික්ෂුවකට පැනින් හෝ තල්වැටින් හෝ උපස්ථාන කරමින් ළඟ එළඹ සිටියි නම් පාචිත්තිය ඇවැත් වේ” යි.