4. 1. 1.
පළමු ශික්ෂාපදය
ආර්යාවෙනි, මේ පාචිත්තිය ධර්ම එකසිය හැටහය උදෙසීමට (කියවා දීමට) පැමිණෙති.
1. එකල භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර අනේපිඬු සිටුතුමාගේ ජේතවන නම් ආරාමයෙහි වැඩ වසන සේක. එකල එක්තරා උපාසකයෙක් භික්ෂුණී සංඝයාට සුදුළූණු පිරිනැමීමට ආරාධනා කළේ ය: “යම් ආර්යාවන්ට සුදුළූණුවලින් ප්‍රයෝජන ඇත්නම්, මම සුදුළූණු (පිරිනමමි)” යි. “භික්ෂුණීන් පැමිණියහොත් එක් එක් භික්ෂුණියකට සුදුළූණු ගෙඩි (බික් පිරුණු ගෙඩි) දෙක තුනක් දෙන්නැ” යි කෙත රකින්නාට ද අණ කර තිබිණ. එකල සැවැත්නුවර උත්සවයක් විය. ගෙනැවිත් තිබූ සුදුළූණු අවසන් විය. භික්ෂුණීන් ඒ උපාසකයා වෙත ගොස්, “ආයුෂ්මතුනි, සුදුළූණුවලින් ප්‍රයෝජන ඇතැ” යි මෙය කීහ. “ආර්යාවෙනි, නැත. ගෙනැවිත් තිබූ සුදුළූණු අවසන් විය. කෙතට යනු මැනවි” යි කීය. ථුල්ලනන්දා භික්ෂුණිය කෙතට ගොස් ප්‍රමාණය නොදැන බොහෝ සුදුළූණු ගෙන්වා ගත්තා ය. කෙත රකින්නා හෙළා දකියි, නුගුණ කියයි, දොස් පතුරුවයි: “කෙසේ නම් භික්ෂුණීන් ප්‍රමාණය නොදැන බොහෝ සුදුළූණු ගෙන්වා ගන්නෝ දැ” යි.
2. හෙළා දකින, නුගුණ කියන, දොස් පතුරුවන ඒ කෙත රකින්නාගේ (අපකීර්ති වචන) භික්ෂුණීහු ඇසූහ. අල්පේච්ඡ (ආශා අඩු) වූ යම් ඒ භික්ෂුණීහු වෙත් ද -පෙ- ඔවුහු හෙළා දකිති, නුගුණ කියති, දොස් පතුරුවති: “කෙසේ නම් ආර්යා ථුල්ලනන්දා ප්‍රමාණය නොදැන බොහෝ සුදුළූණු ගෙන්වා ගන්නී දැ” යි. -පෙ- “මහණෙනි, ථුල්ලනන්දා භික්ෂුණිය ප්‍රමාණය නොදැන බොහෝ සුදුළූණු ගෙන්වා ගත්තී ය යනු සැබෑ ද?” “සැබෑ ය, භාග්‍යවතුන් වහන්ස.” භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ගැරහූ සේක. -පෙ- “මහණෙනි, කෙසේ නම් ථුල්ලනන්දා භික්ෂුණිය ප්‍රමාණය නොදැන බොහෝ සුදුළූණු ගෙන්වා ගන්නී ද? මහණෙනි, මෙය නොපැහැදුණු අයගේ පැහැදීම පිණිස හෝ නොවේ. -පෙ-” ධර්ම කතාවක් කොට භික්ෂූන් ඇමතූ සේක.
3. “මහණෙනි, පෙර වූවක් කියමි. ථුල්ලනන්දා භික්ෂුණිය එක්තරා බමුණෙකුගේ බිරිඳ වූවා ය. නන්දා ය, නන්දවතී ය, සුන්දරීනන්දා ය යන දියණියන් තිදෙනෙක් ද වූහ. එකල මහණෙනි, ඒ බමුණා මිය ගොස් එක්තරා හංස යෝනියක (රන් හංස යෝනියක) උපන්නේ ය. ඔහුගේ පියාපත් සියල්ල රනින් ම නිමැවුණේ විය. ඔහු ඔවුන්ට එක් එක් පියාපත බැගින් දෙයි.
එකල මහණෙනි, ථුල්ලනන්දා භික්ෂුණිය ‘මේ හංසයා අපට එක් එක් පියාපත බැගින් දෙයි’ කියා ඒ හංස රජු අල්වාගෙන පියාපත් නැත්තෙකු කළා ය. ඔහුගේ යළි හටගත් පියාපත් සුදු පැහැයෙන් හටගත්තේ ය. මහණෙනි, එදා ද ථුල්ලනන්දා භික්ෂුණිය අධික ලෝභය නිසා රනින් පිරිහුණා ය. දැන් සුදුළූණුවලින් පිරිහෙන්නී ය.”
“යමක් ලැබුණේ නම් එයින් සතුටු විය යුතු ය. අධික ලෝභය වනාහි පාපී ය. හංස රජු අල්වාගෙන රනින් පිරිහුණෙහි ය” යි.
එකල භාග්‍යවතුන් වහන්සේ ථුල්ලනන්දා භික්ෂුණියට නොයෙක් අයුරින් ගරහා, පෝෂණය කිරීමට අපහසු බවේ (දුබර බවේ) -පෙ- “මහණෙනි, භික්ෂුණීහු මේ ශික්ෂාපදය මෙසේ උදෙසිය යුතු ය (ප්‍රකාශ කළ යුතු ය):
“යම් භික්ෂුණියක් සුදුළූණු කන්නී නම් පාචිත්තිය ඇවැත් වේ” යි.”
4. යා පන (යම්): යම්, යම් බඳු -පෙ- භික්ඛුනී (භික්ෂුණිය): -පෙ- මේ අර්ථයෙහි අදහස් කරන ලද්දේ මේ භික්ෂුණිය යි.
සුදුළූණු නම්: මගධ රටේ හටගත් සුදුළූණු යැයි කියනු ලැබේ. කන්නෙමි යි පිළිගනී නම් දුක්කට ඇවැත් වේ. ගිලින ගිලින වාරයක් පාසා පාචිත්තිය ඇවැත් වේ.
සුදුළූණුවල සුදුළූණු යැයි හඟිමින් කයි නම් පාචිත්තිය ඇවැත් වේ. සුදුළූණුවල සැක ඇතිව කයි නම් පාචිත්තිය ඇවැත් වේ. සුදුළූණුවල සුදුළූණු නොවේ යැයි හඟිමින් කයි නම් පාචිත්තිය ඇවැත් වේ.
සුදුළූණු නොවන දෙයෙහි සුදුළූණු යැයි හඟී නම් දුක්කට ඇවැත් වේ. සුදුළූණු නොවන දෙයෙහි සැක ඇති වී නම් දුක්කට ඇවැත් වේ. සුදුළූණු නොවන දෙයෙහි සුදුළූණු නොවේ යැයි හඟී නම් ඇවැත් නැත.
ඇවැත් නැත: හෙළ ලූණුවල, සෑ ලූණුවල, පලා ලූණුවල, බික් නැති ලූණුවල, ව්‍යඤ්ජනයක් සමඟ පිසූ සුදුළූණුවල, මස් සමඟ පිසූ සුදුළූණුවල, තෙලෙහි පිසූ සුදුළූණුවල, සාළව නම් ආහාරයෙහි, අවුළුපතෙහි (ආහාරයට එක් කරන රස කැවිල්ලෙහි) ඇවැත් නැත. සිහි විකල් වූවෙකුට ද -පෙ- මුලින්ම මේ වරද කළ තැනැත්තාට (ආදිකම්මිකයාට) ද ඇවැත් නැත.
පළමු ශික්ෂාපදය යි.
4. 1. 2.
දෙවන ශික්ෂාපදය
1. සැවැත් නුවරදී පැනවූ ශික්‍ෂාපදයයි – එකල ෂඩ්වර්ගික භික්ෂුණීන් රහස් ප්‍රදේශයෙහි ලොම් ඉවත් කරවා, අචිරවතී නදියෙහි ගණිකාවන් සමඟ නිරුවතින් එකම තොටෙහි නාති. ගණිකාවෝ හෙළා දකිති, නුගුණ කියති, දොස් පතුරුවති: “කාමසැප විඳින ගිහි කාන්තාවන් මෙන් භික්ෂුණීන් රහස් ප්‍රදේශයෙහි ලොම් ඉවත් කරවන්නේ කෙසේ ද?” කියා.