2. 9.
නවවැනි සංඝාදිසේසය
1. එකල භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර අනේපිඬු සිටුතුමාගේ ජේතවන නම් ආරාමයෙහි වැඩ වසන සේක. එකල ථුල්ලනන්දා භික්ෂුණියගේ ශිෂ්‍ය භික්ෂුණීහු (ගිහියන් සමඟ ගෙවල වැඩ ආදියෙහි) මුසු වී, ලාමක පැවතුම් ඇතිව, ලාමක නමක් ඇතිව, ලාමක දිවි පැවැත්මක් ඇතිව, භික්ෂුණී සංඝයාට වෙහෙස දෙමින්, එකිනෙකාගේ වැරදි වසමින් වාසය කරති.
2. යම් ඒ භික්ෂුණීහු අල්පේච්ඡ (ආශා අඩු) වූවෝ ද -පෙ- ඔවුහු ඒ ගැන හෙළා දකිති, නුගුණ කියති, දොස් පතුරුවති: “කෙසේ නම් භික්ෂුණීහු මුසු වී, ලාමක පැවතුම් ඇතිව, ලාමක නමක් ඇතිව, ලාමක දිවි පැවැත්මක් ඇතිව, භික්ෂුණී සංඝයාට වෙහෙස දෙමින්, එකිනෙකාගේ වැරදි වසමින් වාසය කරත් ද?” යි -පෙ- “මහණෙනි, භික්ෂුණීහු මුසු වී, ලාමක පැවතුම් ඇතිව, ලාමක නමක් ඇතිව, ලාමක දිවි පැවැත්මක් ඇතිව, භික්ෂුණී සංඝයාට වෙහෙස දෙමින්, එකිනෙකාගේ වැරදි වසමින් වාසය කරති යන්න සැබෑ ද?” “සැබෑ ය, භාග්‍යවතුන් වහන්ස.” භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ගැරහූ සේක -පෙ- “මහණෙනි, කෙසේ නම් භික්ෂුණීහු මුසු වී, ලාමක පැවතුම් ඇතිව, ලාමක නමක් ඇතිව, ලාමක දිවි පැවැත්මක් ඇතිව, භික්ෂුණී සංඝයාට වෙහෙස දෙමින්, එකිනෙකාගේ වැරදි වසමින් වාසය කරත් ද? මහණෙනි, මෙය නොපැහැදුණු අයගේ පැහැදීම පිණිස හෝ නොවේ -පෙ- මහණෙනි, භික්ෂුණීන් විසින් මේ ශික්ෂාපදය මෙසේ උදෙසිය යුතු ය (ප්‍රකාශ කළ යුතු ය):
“යම් භික්ෂුණීහු (පැවිද්දන්ට නොගැළපෙන කයින් හා වචනයෙන් කරන ක්‍රියාවලින්) මුසු වී, ලාමක පැවතුම් ඇතිව, ලාමක නමක් (අපකීර්තියක්) ඇතිව, (මිථ්‍යා ආජීවයෙන් යුත්) ලාමක දිවි පැවැත්මක් ඇතිව, භික්ෂුණී සංඝයාට වෙහෙස දෙමින්, එකිනෙකාගේ වැරදි වසමින් වාසය කරත් නම්, ඒ භික්ෂුණීන්ට (අන්) භික්ෂුණීන් විසින් මෙසේ කිව යුතු ය: ‘නැගණියන් වන ඔබ මුසු වී, ලාමක පැවතුම් ඇතිව, ලාමක නමක් ඇතිව, ලාමක දිවි පැවැත්මක් ඇතිව, භික්ෂුණී සංඝයාට වෙහෙස දෙමින්, එකිනෙකාගේ වැරදි වසමින් වාසය කරන්නහු ය. ආර්යාවෙනි, (මුසු වීමෙන්) වෙන් වන්න. සංඝයා නැගණියන්ගේ විවේකය (වෙන්ව සිටීම) ම වර්ණනා කරයි.’ (අන්) භික්ෂුණීන් විසින් මෙසේ කියනු ලබද්දීත් ඒ භික්ෂුණීහු එය එසේ ම දැඩි ලෙස අල්වාගෙන සිටිත් නම්, ඒ භික්ෂුණීන්ට භික්ෂුණීන් විසින් එය අත්හැරීම පිණිස තුන් වරක් දක්වා සමනුභාසන කර්මය (සංඝයා මැද නැවත නැවත අවවාද කර අත්හරින්නට කීම) කළ යුතු ය. තුන් වරක් දක්වා සමනුභාසන කර්මය කරනු ලබද්දී ඔවුන් එය අත්හරිත් නම්, එසේ අත්හැරීම යහපති. ඉදින් අත්නොහරිත් නම්, මේ භික්ෂුණීහු ද තුන්වන වර අවසානයේ ඇවැත් වන, (සංඝයාගෙන්) නෙරපීමට හේතු වන සංඝාදිසේස ඇවැතට පැමිණියෝ වෙති.”
3. භික්ෂුණීහු: උපසම්පදාව ලත් භික්ෂුණීන් යැයි කියනු ලැබේ.
මුසු වී වාසය කරති: මුසු වීම නම්: පැවිද්දන්ට නොගැළපෙන කයින් හා වචනයෙන් කරන ක්‍රියාවලින් මුසු වී වාසය කරති.
ලාමක පැවතුම් ඇති: ලාමක ආචාරයෙන් යුක්ත වූවෝ ය.
ලාමක නමක් ඇති: ලාමක නමක් (අපකීර්තියක්) හැම තැන පැතිර ගිය අය ය.
ලාමක දිවි පැවැත්මක් ඇති: ලාමක මිථ්‍යා ආජීවයෙන් (වැරදි ජීවිකාවෙන්) දිවි පවත්වති.
භික්ෂුණී සංඝයාට වෙහෙස දෙන: එකිනෙකාට (සංඝයා) කර්ම කරන විට ඒවා ප්‍රතික්ෂේප කරති.
එකිනෙකාගේ වැරදි වසන: එකිනෙකාගේ වැරදි වසති.
4. ඒ භික්ෂුණීහු: මුසු වී සිටින යම් ඒ භික්ෂුණීහු ය.
භික්ෂුණීන් විසින්: අන් භික්ෂුණීන් විසිනි. යම් කෙනෙක් දකිත් නම්, යම් කෙනෙක් අසත් නම් ඔවුන් විසින් මෙසේ කිව යුතු ය: “නැගණියන් වන ඔබ මුසු වී, ලාමක පැවතුම් ඇතිව, ලාමක නමක් ඇතිව, ලාමක දිවි පැවැත්මක් ඇතිව, භික්ෂුණී සංඝයාට වෙහෙස දෙමින්, එකිනෙකාගේ වැරදි වසමින් වාසය කරන්නහු ය. ආර්යාවෙනි, (මුසු වීමෙන්) වෙන් වන්න. සංඝයා නැගණියන්ගේ විවේකය ම වර්ණනා කරයි.” දෙවන වරට ද කිව යුතු ය. තුන්වන වරට ද කිව යුතු ය. ඉදින් අත්හරිත් නම් එසේ අත්හැරීම යහපති. ඉදින් අත්නොහරිත් නම් දුක්කට ඇවැත් වේ. අසා සිටත් නොකියත් නම් දුක්කට ඇවැත් වේ. ඒ භික්ෂුණීන් සංඝයා මැදට ද කැඳවාගෙන මෙසේ කිව යුතු ය: “නැගණියන් වන ඔබ මුසු වී, ලාමක පැවතුම් ඇතිව, ලාමක නමක් ඇතිව, ලාමක දිවි පැවැත්මක් ඇතිව, භික්ෂුණී සංඝයාට වෙහෙස දෙමින්, එකිනෙකාගේ වැරදි වසමින් වාසය කරන්නහු ය. ආර්යාවෙනි, (මුසු වීමෙන්) වෙන් වන්න. සංඝයා නැගණියන්ගේ විවේකය ම වර්ණනා කරයි.” දෙවන වරට ද කිව යුතු ය. තුන්වන වරට ද කිව යුතු ය. ඉදින් අත්හරිත් නම් එසේ අත්හැරීම යහපති. ඉදින් අත්නොහරිත් නම් දුක්කට ඇවැත් වේ. ඒ භික්ෂුණීන්ට සමනුභාසන කර්මය කළ යුතු ය. මහණෙනි, සමනුභාසන කර්මය කළ යුත්තේ මෙසේ ය: දක්ෂ වූ, හැකියාව ඇති භික්ෂුණියක විසින් සංඝයාට මෙසේ දැනුම් දිය යුතු ය.
5. “ආර්යාවෙනි, සංඝයා මාගේ වචනය අසත්වා. මෙනම් ඇති ද මෙනම් ඇති ද භික්ෂුණීහු මුසු වී, ලාමක පැවතුම් ඇතිව, ලාමක නමක් ඇතිව, ලාමක දිවි පැවැත්මක් ඇතිව, භික්ෂුණී සංඝයාට වෙහෙස දෙමින්, එකිනෙකාගේ වැරදි වසමින් වාසය කරති. ඔවුහු ඒ කාරණය අත්නොහරිති. සංඝයාට සුදුසු කාලය නම්, සංඝයා ඒ කාරණය අත්හැරීම පිණිස මෙනම් ඇති ද මෙනම් ඇති ද භික්ෂුණීන්ට සමනුභාසන කර්මය කරන්නේ ය. මෙය ඥප්තිය (යෝජනාව) යි.