2. 10.
දසවැනි සංඝාදිසේසය
1. එකල භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර අනේපිඬු සිටුතුමාගේ ජේතවන නම් ආරාමයෙහි වැඩ වසන සේක. එකල ථුල්ලනන්දා භික්ෂුණිය, සංඝයා විසින් සමනුභාසන කර්මය කරන ලද භික්ෂුණීන්ට මෙසේ කියයි: “ආර්යාවෙනි, ඔබ එකට මුසු වී ම වාසය කරන්න. ඔබ වෙන් වී වාසය නොකරන්න. මෙබඳු පැවතුම් ඇති, මෙබඳු නමක් ඇති, මෙබඳු දිවි පැවැත්මක් ඇති, භික්ෂුණී සංඝයාට වෙහෙස දෙන, එකිනෙකාගේ වරද වසන අන් භික්ෂුණීහු ද සංඝයා අතර සිටිති. සංඝයා ඔවුන්ට කිසිවක් නොකියයි. සංඝයා ඔබට ම පහත් කොට සැලකීමෙන් ද, අවමන් කිරීමෙන් ද, නොඉවසීමෙන් ද, කටමැත දෙඩීමෙන් ද, (ඔබගේ ම) දුබල බව නිසා ද මෙසේ කියයි: ‘නැගණියෝ මුසු වී, ලාමක පැවතුම් ඇතිව, ලාමක නමක් ඇතිව, ලාමක දිවි පැවැත්මක් ඇතිව, භික්ෂුණී සංඝයාට වෙහෙස දෙමින්, එකිනෙකාගේ වරද වසමින් වෙසෙති. ආර්යාවෙනි, වෙන් වන්න. සංඝයා වර්ණනා කරන්නේ නැගණියන්ගේ වෙන් වී විසීම (විවේකය) ම ය.’ ”
2. අල්පේච්ඡ (ආශා අඩු) වූ (අඩු ආශා ඇති) යම් ඒ භික්ෂුණීහු වෙත් ද -පෙ- ඔවුහු හෙළා දකිති, නුගුණ කියති, දොස් පතුරුවති: “කෙසේ නම් ආර්යා ථුල්ලනන්දා, සංඝයා විසින් සමනුභාසන කර්මය කරන ලද භික්ෂුණීන්ට ‘ආර්යාවෙනි, ඔබ එකට මුසු වී ම වාසය කරන්න. ඔබ වෙන් වී වාසය නොකරන්න. මෙබඳු පැවතුම් ඇති, මෙබඳු නමක් ඇති -පෙ- අන් භික්ෂුණීහු ද සංඝයා අතර සිටිති. ආර්යාවෙනි, වෙන් වන්න. සංඝයා වර්ණනා කරන්නේ නැගණියන්ගේ වෙන් වී විසීම ම ය’ යැයි මෙසේ කියන්නී ද?” එවිට ඒ භික්ෂුණීහු භික්ෂූන්ට මේ කරුණ දැන්වූහ. භික්ෂූහු හෙළා දකිති, නුගුණ කියති, දොස් පතුරුවති: “කෙසේ නම් ථුල්ලනන්දා භික්ෂුණිය, සංඝයා විසින් සමනුභාසන කර්මය කරන ලද භික්ෂුණීන්ට ‘ආර්යාවෙනි, ඔබ එකට මුසු වී ම වාසය කරන්න. ඔබ වෙන් වී වාසය නොකරන්න. මෙබඳු පැවතුම් ඇති, මෙබඳු නමක් ඇති -පෙ- අන් භික්ෂුණීහු ද සංඝයා අතර සිටිති. ආර්යාවෙනි, වෙන් වන්න. සංඝයා වර්ණනා කරන්නේ නැගණියන්ගේ වෙන් වී විසීම ම ය’ යැයි මෙසේ කියන්නී ද?” එවිට ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට මේ කරුණ දැන්වූහ.
3. එවිට භාග්‍යවතුන් වහන්සේ මේ කරුණෙහි, මේ අවස්ථාවෙහි භික්ෂු සංඝයා රැස් කරවා භික්ෂූන්ගෙන් මෙසේ විචාළ සේක: “මහණෙනි, ථුල්ලනන්දා භික්ෂුණිය, සංඝයා විසින් සමනුභාසන කර්මය කරන ලද භික්ෂුණීන්ට ‘ආර්යාවෙනි, ඔබ එකට මුසු වී ම වාසය කරන්න. ඔබ වෙන් වී වාසය නොකරන්න. මෙබඳු පැවතුම් ඇති, මෙබඳු නමක් ඇති -පෙ- අන් භික්ෂුණීහු ද සංඝයා අතර සිටිති. ආර්යාවෙනි, වෙන් වන්න. සංඝයා වර්ණනා කරන්නේ නැගණියන්ගේ වෙන් වී විසීම ම ය’ යැයි මෙසේ කියන බව සැබෑ ද?”
“සැබෑ ය, භාග්‍යවතුන් වහන්ස.” භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ගැරහූ සේක -පෙ- “මහණෙනි, කෙසේ නම් ථුල්ලනන්දා භික්ෂුණිය, සංඝයා විසින් සමනුභාසන කර්මය කරන ලද භික්ෂුණීන්ට ‘ආර්යාවෙනි, ඔබ එකට මුසු වී ම වාසය කරන්න. ඔබ වෙන් වී වාසය නොකරන්න. මෙබඳු පැවතුම් ඇති, මෙබඳු නමක් ඇති -පෙ- අන් භික්ෂුණීහු ද සංඝයා අතර සිටිති. ආර්යාවෙනි, වෙන් වන්න. සංඝයා වර්ණනා කරන්නේ නැගණියන්ගේ වෙන් වී විසීම ම ය’ යැයි මෙසේ කියන්නී ද? මහණෙනි, මෙය නොපැහැදුණු අයගේ පැහැදීම පිණිස හෝ නොවේ -පෙ- මහණෙනි, භික්ෂුණීන් විසින් මේ ශික්ෂාපදය මෙසේ උදෙසිය යුතු ය (ප්‍රකාශ කළ යුතු ය):
යම් භික්ෂුණියක් මෙසේ කියන්නී නම්: “ආර්යාවෙනි, ඔබ එකට මුසු වී (ගිහියන් සමඟ මුසු වී) ම වාසය කරන්න. ඔබ වෙන් වී වාසය නොකරන්න. මෙබඳු ලාමක පැවතුම් ඇති (ඔබට ඇති පැවතුම් වැනි පැවතුම් ඇති), මෙබඳු ලාමක නමක් ඇති, මෙබඳු ලාමක දිවි පැවැත්මක් ඇති, භික්ෂුණී සංඝයාට වෙහෙස දෙන, එකිනෙකාගේ වරද වසන අන් භික්ෂුණීහු ද සංඝයා අතර සිටිති. සංඝයා ඔවුන්ට කිසිවක් නොකියයි. සංඝයා ඔබට ම පහත් කොට සැලකීමෙන් ද, අවමන් කිරීමෙන් ද, නොඉවසීමෙන් (ක්‍රෝධයෙන්) ද, කටමැත දෙඩීමෙන් (සිය බලය පාමින්) ද, (ඔබගේ ම) දුබල බව නිසා ද මෙසේ කියයි: ‘නැගණියෝ මුසු වී, ලාමක පැවතුම් ඇතිව, ලාමක නමක් ඇතිව, ලාමක දිවි පැවැත්මක් ඇතිව, භික්ෂුණී සංඝයාට වෙහෙස දෙමින්, එකිනෙකාගේ වරද වසමින් වෙසෙති. ආර්යාවෙනි, වෙන් වන්න. සංඝයා වර්ණනා කරන්නේ නැගණියන්ගේ වෙන් වී විසීම (විවේකය) ම ය.’ ”
ඒ භික්ෂුණියට (අන්) භික්ෂුණීන් විසින් මෙසේ කිව යුතු ය: “ආර්යාව, මෙසේ නොකියන්න: ‘ආර්යාවෙනි, ඔබ එකට මුසු වී ම වාසය කරන්න. ඔබ වෙන් වී වාසය නොකරන්න. මෙබඳු ලාමක පැවතුම් ඇති, මෙබඳු ලාමක නමක් ඇති, මෙබඳු ලාමක දිවි පැවැත්මක් ඇති, භික්ෂුණී සංඝයාට වෙහෙස දෙන, එකිනෙකාගේ වරද වසන අන් භික්ෂුණීහු ද සංඝයා අතර සිටිති. සංඝයා ඔවුන්ට කිසිවක් නොකියයි. සංඝයා ඔබට ම පහත් කොට සැලකීමෙන් ද, අවමන් කිරීමෙන් ද, නොඉවසීමෙන් ද, කටමැත දෙඩීමෙන් ද, (ඔබගේ ම) දුබල බව නිසා ද මෙසේ කියයි: නැගණියෝ මුසු වී, ලාමක පැවතුම් ඇතිව, ලාමක නමක් ඇතිව, ලාමක දිවි පැවැත්මක් ඇතිව, භික්ෂුණී සංඝයාට වෙහෙස දෙමින්, එකිනෙකාගේ වරද වසමින් වෙසෙති. ආර්යාවෙනි, වෙන් වන්න. සංඝයා වර්ණනා කරන්නේ නැගණියන්ගේ වෙන් වී විසීම ම ය.’ ” මෙසේ (අන්) භික්ෂුණීන් විසින් කියනු ලබන ඒ භික්ෂුණිය එය එසේ ම දැඩි ලෙස අල්ලා ගනී නම්, (අන්) භික්ෂුණීන් විසින් ඒ කරුණ අත්හැරීම පිණිස ඒ භික්ෂුණියට තුන් වරක් දක්වා සමනුභාසන කර්මය කළ යුතු ය. තුන් වරක් දක්වා සමනුභාසන කර්මය කරනු ලබන ඇය එය අත්හරී නම්, එසේ අත්හැරීම යහපති. ඉදින් අත් නොහරී නම්, මේ භික්ෂුණිය ද තුන් වන වර අවසානයේ පැමිණෙන ඇවැත් ඇති, (සංඝයාගෙන්) නෙරපීමට හේතු වන සංඝාදිසේස ඇවැතට පැමිණියා වේ.