2. 8.
අටවැනි සංඝාදිසේසය
1. එකල භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර ජේතවනය නම් වූ අනේපිඬු සිටුතුමාගේ ආරාමයෙහි වැඩවසන සේක. එකල චණ්ඩකාළී භික්ෂුණිය කිසියම් අධිකරණයක පරාජයට පත් වී, කිපී, නොසතුටු වී මෙසේ කියයි: “භික්ෂුණීහු ඡන්දයෙන් ද අගතියට ගියහ. භික්ෂුණීහු ද්වේෂයෙන් ද අගතියට ගියහ. භික්ෂුණීහු මෝහයෙන් ද අගතියට ගියහ. භික්ෂුණීහු භයෙන් ද අගතියට ගියහ.”
2. යම් ඒ භික්ෂුණීහු අල්පේච්ඡ (ආශා අඩු) වූවෝ ද -පෙ- ඔවුහු හෙළා දකිති, නුගුණ කියති, දොස් පතුරුවති: “කෙසේ නම් ආර්යා චණ්ඩකාළී කිසියම් අධිකරණයක පරාජයට පත් වී, කිපී, නොසතුටු වී, ‘භික්ෂුණීහු ඡන්දයෙන් ද අගතියට ගියහ -පෙ- භික්ෂුණීහු භයෙන් ද අගතියට ගියහ’ යි මෙසේ කියන්නී ද?” -පෙ- “මහණෙනි, චණ්ඩකාළී භික්ෂුණිය කිසියම් අධිකරණයක පරාජයට පත් වී, කිපී, නොසතුටු වී, ‘භික්ෂුණීහු ඡන්දයෙන් ද අගතියට ගියහ -පෙ- භික්ෂුණීහු භයෙන් ද අගතියට ගියහ’ යි මෙසේ කියන්නී සැබෑ ද?” “සැබෑ ය, භාග්‍යවතුන් වහන්ස.” භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ගැරහූ සේක -පෙ- “මහණෙනි, කෙසේ නම් චණ්ඩකාළී භික්ෂුණිය කිසියම් අධිකරණයක පරාජයට පත් වී, කිපී, නොසතුටු වී, ‘භික්ෂුණීහු ඡන්දයෙන් ද අගතියට ගියහ -පෙ- භික්ෂුණීහු භයෙන් ද අගතියට ගියහ’ යි මෙසේ කියන්නී ද? මහණෙනි, මෙය නොපැහැදුණු අයගේ පැහැදීම පිණිස හෝ නොවේ -පෙ- මහණෙනි, භික්ෂුණීන් විසින් මේ ශික්ෂාපදය මෙසේ උදෙසිය යුතු ය (ප්‍රකාශ කළ යුතු ය):
“යම් භික්ෂුණියක් කිසියම් අධිකරණයක පරාජයට පත් වී, කිපී, නොසතුටු වී, ‘භික්ෂුණීහු ඡන්දයෙන් ද අගතියට ගියහ, භික්ෂුණීහු ද්වේෂයෙන් ද අගතියට ගියහ, භික්ෂුණීහු මෝහයෙන් ද අගතියට ගියහ, භික්ෂුණීහු භයෙන් ද අගතියට ගියහ’ යි මෙසේ කියන්නී නම්, ඒ භික්ෂුණියට (අන්) භික්ෂුණීන් විසින් මෙසේ කිය යුතුය: ‘ආර්යාවෙනි, කිසියම් අධිකරණයක පරාජයට පත් වී, කිපී, නොසතුටු වී, “භික්ෂුණීහු ඡන්දයෙන් ද අගතියට ගියහ, භික්ෂුණීහු ද්වේෂයෙන් ද අගතියට ගියහ, භික්ෂුණීහු මෝහයෙන් ද අගතියට ගියහ, භික්ෂුණීහු භයෙන් ද අගතියට ගියහ” යි මෙසේ නොකියන්න. ආර්යාව ම ය ඡන්දයෙන් ද අගතියට යන්නේ, ද්වේෂයෙන් ද අගතියට යන්නේ, මෝහයෙන් ද අගතියට යන්නේ, භයෙන් ද අගතියට යන්නේ.’ මෙසේ භික්ෂුණීන් විසින් කියනු ලබද්දීත් ඒ භික්ෂුණිය එලෙසම දැඩිව ගන්නී නම්, ඒ කරුණ අත්හැරීම පිණිස භික්ෂුණීන් විසින් ඒ භික්ෂුණියට තුන්වන වර දක්වා සමනුභාසන කර්මය කළ යුතුය. ඉදින් තුන්වන වර දක්වා සමනුභාසන කර්මය කරනු ලබද්දී ඇය ඒ කරුණ අත්හරී නම්, එසේ අත්හැරීම යහපති. ඉදින් අත් නොහරී නම්, මේ භික්ෂුණිය ද තුන්වන වර අවසානයේ ඇවැත් වන, (සංඝයාගෙන්) නෙරපීමට හේතු වන සංඝාදිසේස ඇවැතට පැමිණියා වේ.”
3. යා පන (යම්): යම්, යම් ආකාර වූ -පෙ- භික්ඛුනී (භික්ෂුණිය): -පෙ- මේ අර්ථයෙහි අදහස් කරන ලද්දේ මේ භික්ෂුණිය යි.
කිස්මිඤ්චිදේව අධිකරණෙ (කිසියම් අධිකරණයක): අධිකරණ නම් විවාදාධිකරණය, අනුවාදාධිකරණය, ආපත්තාධිකරණය, කිච්චාධිකරණය යන අධිකරණ හතරයි.
පච්චාකතා නම්: පරාජයට පත් වූවා යැයි කියනු ලැබේ.
කුපිතා අනත්තමනා (කිපී, නොසතුටු වී): නොසතුටු වූ, ගැටුණු සිත් ඇති, (සිතෙහි) හුලක් මෙන් තද බවක් හටගත්තී.
එවං වදෙය්ය (මෙසේ කියන්නී නම්): ‘භික්ෂුණීහු ඡන්දයෙන් ද අගතියට ගියහ, භික්ෂුණීහු ද්වේෂයෙන් ද අගතියට ගියහ, භික්ෂුණීහු මෝහයෙන් ද අගතියට ගියහ, භික්ෂුණීහු භයෙන් ද අගතියට ගියහ’ යි.
සා භික්ඛුනී (ඒ භික්ෂුණිය): මෙසේ කියන යම් භික්ෂුණියක් වේ නම්, ඒ භික්ෂුණියයි.
භික්ඛුනීහි (භික්ෂුණීන් විසින්): අන් භික්ෂුණීන් විසින්ය. යම් කෙනෙක් එය දකිත් නම්, යම් කෙනෙක් එය අසත් නම්, ඔවුන් විසින් ඇයට “ආර්යාවෙනි, කිසියම් අධිකරණයක (නඩුවක) පරාජයට පත් වී, කිපී, නොසතුටු වී ‘භික්ෂුණීහු ඡන්දයෙන් ද අගතියට ගියහ, භික්ෂුණීහු ද්වේෂයෙන් ද අගතියට ගියහ, භික්ෂුණීහු මෝහයෙන් ද අගතියට ගියහ, භික්ෂුණීහු භයෙන් ද අගතියට ගියහ’ යි මෙසේ නොකියන්න. ආර්යාව ම ය ඡන්දයෙන් ද අගතියට යන්නේ, ද්වේෂයෙන් ද අගතියට යන්නේ, මෝහයෙන් ද අගතියට යන්නේ, භයෙන් ද අගතියට යන්නේ” යි කිව යුතුය. දෙවන වරට ද කිව යුතුය -පෙ- තුන්වන වරට ද කිව යුතුය -පෙ- ඉදින් ඇය එය අත්හරී නම්, එසේ අත්හැරීම යහපති. ඉදින් අත්නොහරී නම් දුක්කට ඇවතට පැමිණේ. අසා සිටත් නොකියත් නම් (ඔවුන්ට ද) දුක්කට ඇවැත් වේ. ඒ භික්ෂුණිය සංඝයා මැදට ද ඇදගෙන ගොස් “ආර්යාවෙනි, කිසියම් අධිකරණයක පරාජයට පත් වී, කිපී, නොසතුටු වී ‘භික්ෂුණීහු ඡන්දයෙන් ද අගතියට ගියහ -පෙ- භික්ෂුණීහු භයෙන් ද අගතියට ගියහ’ යි මෙසේ නොකියන්න. ආර්යාව ම ය ඡන්දයෙන් ද අගතියට යන්නේ -පෙ- භයෙන් ද අගතියට යන්නේ” යි කිව යුතුය. දෙවන වරට ද කිව යුතුය -පෙ- තුන්වන වරට ද කිව යුතුය -පෙ- ඉදින් ඇය එය අත්හරී නම්, එසේ අත්හැරීම යහපති. ඉදින් අත්නොහරී නම් දුක්කට ඇවතට පැමිණේ. ඒ භික්ෂුණියට සමනුභාසන කර්මය (වරද අත්හරින ලෙස සංඝයා විසින් තුන් වරක් අවවාද කරන කර්මය) කළ යුතුය. මහණෙනි, එය මෙසේ කළ යුතුය: දක්ෂ වූ, හැකියාව ඇති භික්ෂුණියක විසින් සංඝයාට දැන්විය යුතුය.
“ආර්යාවෙනි, සංඝයා මාගේ වචනය අසත්වා. මේ මෙනම් ඇති භික්ෂුණිය කිසියම් අධිකරණයක පරාජයට පත් වී, කිපී, නොසතුටු වී ‘භික්ෂුණීහු ඡන්දයෙන් ද අගතියට ගියහ -පෙ- භික්ෂුණීහු භයෙන් ද අගතියට ගියහ’ යි මෙසේ කියයි. ඇය ඒ කාරණය අත් නොහරියි. ඉදින් සංඝයාට සුදුසු කාලය නම්, සංඝයා ඒ කාරණය අත්හැරීම පිණිස මෙනම් ඇති භික්ෂුණියට සමනුභාසන කර්මය කරන්නේය. මෙය ඥප්තිය (යෝජනාව) යි.