2. 4.
හතරවන සංඝාදිසේසය
1. ඒ කාලයෙහි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර අනේපිඬු සිටුතුමාගේ ජේතවන නම් ආරාමයෙහි වැඩ වසන සේක. එකල චණ්ඩකාලී භික්ෂුණිය ඩබර කරන්නියක්, කලහ කරන්නියක්, විවාද කරන්නියක්, බහින්බස් වන්නියක්, සංඝයා අතර අධිකරණ (නඩු ප්‍රශ්න) ඇති කරන්නියක් වූවාය. ඇයට සංඝයා කර්ම කරන විට ථුල්ලනන්දා භික්ෂුණිය ඒවාට විරුද්ධව කරුණු කියයි.
එකල ථුල්ලනන්දා භික්ෂුණිය කිසියම් අවශ්‍ය කටයුත්තක් නිසා ගමකට ගියාය. එවිට භික්ෂුණී සංඝයා ථුල්ලනන්දා භික්ෂුණිය පිටත ගියා යැයි සලකා, චණ්ඩකාලී භික්ෂුණියට, තමාගේ ඇවැත නොදැකීම නිසා උක්ඛේපනීය කර්මය (සංඝයාගෙන් ඈත් කර තැබීමේ කර්මය) කළේය. ථුල්ලනන්දා භික්ෂුණිය ගමෙහි ඒ කටයුත්ත නිම කොට නැවතත් සැවැත් නුවරට පැමිණියාය. චණ්ඩකාලී භික්ෂුණිය පැමිණෙන ථුල්ලනන්දා භික්ෂුණියට අසුනක් පැනවූයේ නැත. පා සෝදන දිය, පාපුටුව (සේදූ පා තබන පුටුව), පා උලන පුවරුව (නොසේදූ පා තබන පුවරුව) ළඟින් තැබුවේ නැත. ඉදිරියට ගොස් පාත්‍රය හා සිවුර පිළිගත්තේ නැත. පැන් අවශ්‍ය දැයි විචාළේ නැත. ථුල්ලනන්දා භික්ෂුණිය චණ්ඩකාලී භික්ෂුණියට මෙසේ කීවාය: “ආර්යාවෙනි, ඔබ කුමක් නිසා මා පැමිණෙන විට අසුනක් පැනවූයේ නැද්ද, පා සෝදන දිය, පාපුටුව, පා උලන පුවරුව ළඟින් තැබුවේ නැද්ද, ඉදිරියට ගොස් පාත්‍රය හා සිවුර පිළිගත්තේ නැද්ද, පැන් අවශ්‍ය දැයි විචාළේ නැද්ද?” “ආර්යාවෙනි, පිහිටක් නැති කෙනෙකුට යම් සේ වේද, මටත් එසේම වේ.” “ආර්යාවෙනි, ඔබ කුමක් නිසා පිහිටක් නැත්තියක් වූයෙහිද?” “ආර්යාවෙනි, මේ භික්ෂුණීන් ‘මැය පිහිටක් නැත්තියකි, ප්‍රසිද්ධ නැත්තියකි, මැය වෙනුවෙන් විරුද්ධව කතා කරන කිසිවෙක් නැතැ’යි සිතා, ඇවැත නොදැකීම නිසා මට උක්ඛේපනීය කර්මය කළහ.” එවිට ථුල්ලනන්දා භික්ෂුණිය “මොවුහු අඥානයෝය, මොවුහු අදක්ෂයෝය. මොවුහු කර්මය හෝ කර්මයේ දොස හෝ කර්මය වැරදීම (කර්ම විපත්තිය) හෝ කර්මය නිවැරදි වීම (කර්ම සම්පත්තිය) හෝ නොදනිති. අපි වනාහි කර්මයද කර්මයේ දොසද කර්මය වැරදීමද කර්මය නිවැරදි වීමද දනිමු. අපි නොකළ කර්මයක් හෝ කරවන්නෙමු, කළ කර්මයක් හෝ අවලංගු කරන්නෙමු” යි කියා, ඉක්මනින් ඉක්මනින් භික්ෂුණී සංඝයා රැස් කරවා චණ්ඩකාලී භික්ෂුණිය ඕසාරණය කළාය (නැවත සංඝයාට ඇතුළත් කළාය).
2. යම් ඒ භික්ෂුණීහු අල්පේච්ඡ (ආශා අඩු) වූවාහු ද -පෙ- ඔවුහු හෙළා දකිති, නුගුණ කියති, දොස් පතුරුවති: “කෙසේ නම් ආර්යා ථුල්ලනන්දා, සමඟි සංඝයා විසින් ධර්මයෙන්, විනයෙන්, ශාස්තෲන් වහන්සේගේ අනුශාසනාවෙන් උක්ඛේපනීය කර්මය කරන ලද භික්ෂුණියක, ඒ කර්මය කළ සංඝයාගෙන් නොවිමසා, ඒ ගණයාගේ කැමැත්ත (ඡන්දය) නොදැන නැවත ඇතුළත් කරන්නීද?” -පෙ- “මහණෙනි, ථුල්ලනන්දා භික්ෂුණිය සමඟි සංඝයා විසින් ධර්මයෙන්, විනයෙන්, ශාස්තෲන් වහන්සේගේ අනුශාසනාවෙන් උක්ඛේපනීය කර්මය කරන ලද භික්ෂුණියක, කර්මය කළ සංඝයාගෙන් නොවිමසා, ගණයාගේ කැමැත්ත නොදැන (සංඝයා මැදට) නැවත ඇතුළත් කළා යනු සැබෑද?” “සැබෑ ය, භාග්‍යවතුන් වහන්ස.” භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ගැරහූ සේක. -පෙ- “මහණෙනි, කෙසේ නම් ථුල්ලනන්දා භික්ෂුණිය සමඟි සංඝයා විසින් ධර්මයෙන්, විනයෙන්, ශාස්තෲන් වහන්සේගේ අනුශාසනාවෙන් උක්ඛේපනීය කර්මය කරන ලද භික්ෂුණියක, කර්මය කළ සංඝයාගෙන් නොවිමසා, ගණයාගේ කැමැත්ත නොදැන නැවත ඇතුළත් කරන්නීද? මහණෙනි, මෙය නොපැහැදුණු අයගේ පැහැදීම පිණිස හෝ නොවේ -පෙ- තවද මහණෙනි, භික්ෂුණීන් මේ ශික්ෂාපදය මෙසේ උදෙසිය යුතු ය (ප්‍රකාශ කළ යුතු ය):