2. 3.
තුන්වන සංඝාදිසේසය
1. ඒ කාලයෙහි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර අනේපිඬු සිටුතුමාගේ ජේතවන නම් ආරාමයෙහි වැඩ වසන සේක. එකල භද්දා කාපිලානියගේ ශිෂ්‍ය භික්ෂුණියක් භික්ෂුණීන් සමඟ රණ්ඩු වී ගම්බද නෑ ගෙදරකට ගියාය. භද්දා කාපිලානී ඒ භික්ෂුණිය නොදැක “මෙනම් භික්ෂුණිය කොහිද? ඇය නොපෙනේ” යි භික්ෂුණීන්ගෙන් ඇසුවාය. “ආර්‍යාවෙනි, ඇය භික්ෂුණීන් සමඟ රණ්ඩු වී (ගිය බැවින්) නොපෙනේ” යි (ඔවුහු කීහ). “මෑණිවරුනි, අසවල් ගමේ මැයගේ නෑ ගෙදරක් ඇත. එහි ගොස් සොයා බලන්න” යි කීවාය. භික්ෂුණීන් එහි ගොස් ඒ භික්ෂුණිය දැක මෙසේ කීහ: “ආර්‍යාවෙනි, ඔබ කුමක් නිසා තනිවම ආවේද? කිම, ඔබ දූෂණයට ලක් නොවූවා නේද?” “ආර්‍යාවෙනි, මම දූෂණයට ලක් නොවූයෙමි” යි කීවාය.
2. යම් ඒ භික්ෂුණීහු අල්පේච්ඡ (ආශා අඩු) වූවාහු ද -පෙ- ඔවුහු “කෙසේ නම් භික්ෂුණියක් තනිවම වෙනත් ගමකට යන්නීද?” යි හෙළා දකිති, නුගුණ කියති, දොස් පතුරුවති -පෙ- “මහණෙනි, භික්ෂුණියක් තනිවම වෙනත් ගමකට ගියා යනු සැබෑද?” “සැබෑ ය, භාග්‍යවතුන් වහන්ස.” භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ගැරහූ සේක -පෙ- “මහණෙනි, කෙසේ නම් භික්ෂුණියක් තනිවම වෙනත් ගමකට යන්නීද? මහණෙනි, මෙය නොපැහැදුණු අයගේ පැහැදීම පිණිස හෝ නොවේ -පෙ- මහණෙනි, භික්ෂුණීන් මේ ශික්ෂාපදය මෙසේ උදෙසිය යුතු ය (ප්‍රකාශ කළ යුතු ය).
යම් භික්ෂුණියක් තනිවම වෙනත් ගමකට යන්නී නම්, මේ භික්ෂුණියත් පළමුවෙන්ම (වරද කළ මොහොතේම) ඇවැත් වන, (සංඝයාගෙන්) නෙරපීමට හේතු වන සංඝාදිසේස ඇවැතට පැමිණියා වේ.
මෙසේ මේ ශික්ෂාපදය භාග්‍යවතුන් වහන්සේ විසින් භික්ෂුණීන්ට පනවන ලද්දේ වේ.
3. එකල භික්ෂුණීන් දෙදෙනෙක් සාකේතයේ සිට සැවැත් නුවරට (යාම පිණිස) දුර ගමනක යෙදී සිටියහ. අතර මඟදී ගඟක් තරණය කළ යුතු විය. එවිට ඒ භික්ෂුණීන් ඔරු පදින්නන් වෙත ගොස් “ඇවැත්නි, අපව එගොඩ කරන්නේ නම් යහපති” යි කීහ. “ආර්‍යාවෙනි, දෙදෙනාම එකවර එගොඩ කරන්නට නොහැකිය” යි (කියා) එක් අයෙක් එක් භික්ෂුණියක එගොඩ කෙළේය. එගොඩ වූ තැනැත්තා එගොඩ වූ භික්ෂුණිය දූෂණය කෙළේය. එගොඩ නොවූ තැනැත්තා එගොඩ නොවූ භික්ෂුණිය දූෂණය කෙළේය. ඔවුහු පසුව එක්ව මෙසේ ඇසූහ: “ආර්‍යාවෙනි, කිම, ඔබ දූෂණයට ලක් නොවූවා නේද?” “ආර්‍යාවෙනි, මම දූෂණයට ලක් වූයෙමි. ආර්‍යාවෙනි, ඔබ දූෂණයට ලක් නොවූවා නේද?” “ආර්‍යාවෙනි, මම දූෂණයට ලක් වූයෙමි” යි කීවාය.
4. ඉන්පසු ඒ භික්ෂුණීන් සැවැත් නුවරට ගොස් භික්ෂුණීන්ට මේ කරුණ දැන්වූහ. යම් ඒ භික්ෂුණීහු අල්පේච්ඡ (ආශා අඩු) වූවාහු ද -පෙ- ඔවුහු “කෙසේ නම් භික්ෂුණියක් තනිවම ගඟකින් එගොඩට යන්නීද?” යි හෙළා දකිති, නුගුණ කියති, දොස් පතුරුවති -පෙ- “මහණෙනි, භික්ෂුණියක් තනිවම ගඟකින් එගොඩට ගියා යනු සැබෑද?” “සැබෑ ය, භාග්‍යවතුන් වහන්ස.” භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ගැරහූ සේක -පෙ- “මහණෙනි, කෙසේ නම් භික්ෂුණියක් තනිවම ගඟකින් එගොඩට යන්නීද? මහණෙනි, මෙය නොපැහැදුණු අයගේ පැහැදීම පිණිස හෝ නොවේ -පෙ- මහණෙනි, භික්ෂුණීන් මේ ශික්ෂාපදය මෙසේ උදෙසිය යුතු ය (ප්‍රකාශ කළ යුතු ය).