2. 2.
දෙවන සංඝාදිසේසය
1. ඒ කාලයෙහි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර අනේපිඬු සිටුතුමාගේ ජේතවන නම් ආරාමයෙහි වැඩ වසන සේක. එකල විශාලා මහනුවර එක්තරා ලිච්ඡවියෙකුගේ භාර්යාව අනාචාරයෙහි හැසිරෙන්නියක් විය. එවිට ඒ ලිච්ඡවි ඒ ස්ත්‍රියට මෙසේ කීය: “මෙයින් වැළකීම යහපත. (නැතහොත්) ඔබට නපුරක් කරන්නෙමි.” මෙසේ කියද්දීත් ඇය එය පිළිගත්තේ නැත. එකල විශාලා මහනුවර ලිච්ඡවි පිරිස කිසියම් කටයුත්තක් නිසා රැස්ව සිටියහ. එවිට ඒ ලිච්ඡවි ඒ ලිච්ඡවීන්ට මෙසේ කීය: “ආර්යයෙනි, එක් ස්ත්‍රියක් (සම්බන්ධයෙන් කටයුතු කිරීමට) මට අවසර දෙන්න.” “ඇය කවුද?” “මාගේ භාර්යාව අනාචාරයෙහි හැසිරෙයි. ඇය මරා දමන්නෙමි.” “ඔබම දැනගන්න” යි (ඔවුහු කීහ).
2. ‘සැමියා මා මරා දමන්නට කැමැත්තේලු’ යි ඒ ස්ත්‍රිය ඇසුවාය. ඇය වටිනා බඩු (මුතු, මැණික්, වෛරෝඩි ආදී මිල අධික බඩු) රැගෙන සැවැත්නුවරට ගොස් අන්‍ය ආගමිකයන් (තීර්ථකයන්) වෙත එළඹ පැවිද්ද ඉල්ලුවාය. තීර්ථකයෝ ඇය පැවිදි කරන්නට කැමැති නොවූහ. ඇය භික්ෂුණීන් වෙත එළඹ පැවිද්ද ඉල්ලුවාය. භික්ෂුණීහුත් ඇය පැවිදි කරන්නට කැමැති නොවූහ. ඇය ථුල්ලනන්දා භික්ෂුණිය වෙත එළඹ බඩු පොදිය පෙන්වා පැවිද්ද ඉල්ලුවාය. ථුල්ලනන්දා භික්ෂුණිය බඩු පොදිය ගෙන ඇය පැවිදි කළාය.
3. ඉක්බිති ඒ ලිච්ඡවි ඒ ස්ත්‍රිය සොයමින් සැවැත්නුවරට ගොස්, ඇය භික්ෂුණීන් අතර පැවිදි වී සිටිනු දැක පසේනදි කොසොල් රජු වෙත එළඹියේය. එළඹ පසේනදි කොසොල් රජුට මෙසේ කීය: “දේවයන් වහන්ස, මාගේ භාර්යාව වටිනා බඩු රැගෙන සැවැත්නුවරට පැමිණියාය. දේවයන් වහන්සේ ඇය (සම්බන්ධයෙන් කටයුතු කිරීමට මට) අවසර දෙන සේක්වා.” “එසේ නම් එම්බා, සොයා බලා කියන්න.” “දේවයන් වහන්ස, ඇය භික්ෂුණීන් අතර පැවිදි වී සිටිනු දක්නා ලදී.” “එම්බා, ඇය භික්ෂුණීන් අතර පැවිදි වූවා නම් ඇයට කිසිවක් කළ නොහැකිය. ධර්මය මනාව දේශනා කරන ලද්දකි. මැනවින් දුක් කෙළවර කිරීම පිණිස ඇය බඹසර හැසිරේවා.”
4. එකල්හි ඒ ලිච්ඡවි “කෙසේ නම් භික්ෂුණීහු සොරියක පැවිදි කරන්නාහු ද?” යි හෙළා දකියි, නුගුණ කියයි, දොස් පතුරුවයි. හෙළා දකින, නුගුණ කියන, දොස් පතුරුවන ඒ ලිච්ඡවියාගේ (අපකීර්ති වචන) භික්ෂුණීහු ඇසූහ.
5. යම් ඒ භික්ෂුණීහු අල්පේච්ඡ (ආශා අඩු) වූවාහු ද -පෙ- ඔවුහු “කෙසේ නම් ආර්යා ථුල්ලනන්දා සොරියක පැවිදි කරන්නී ද?” යි හෙළා දකිති, නුගුණ කියති, දොස් පතුරුවති -පෙ- “මහණෙනි, ථුල්ලනන්දා භික්ෂුණිය සොරියක පැවිදි කළා යනු සැබෑද?” “සැබෑ ය, භාග්‍යවතුන් වහන්ස.” භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ගැරහූ සේක -පෙ- “මහණෙනි, කෙසේ නම් ථුල්ලනන්දා භික්ෂුණිය සොරියක පැවිදි කරන්නී ද? මහණෙනි, මෙය නොපැහැදුණු අයගේ පැහැදීම පිණිස හෝ නොවේ -පෙ- මහණෙනි, භික්ෂුණීහු මේ ශික්ෂාපදය මෙසේ උදෙසිය යුතු ය (ප්‍රකාශ කළ යුතු ය):
යම් භික්ෂුණියක් දැන දැනම, මරණ දඬුවමට සුදුසු වූ, (එසේ බව අන් අය) දන්නා වූ සොරියක, රජුගෙන් හෝ සංඝයාගෙන් හෝ ගණයෙන් (මල්ල ගණය වැනි පිරිසෙන්) හෝ මුළුවෙන් හෝ ශ්‍රේණියෙන් හෝ නොවිචාරා, කැප බවට පත් වූ (කලින් පැවිදි වී සිටි) අයෙකු හැර, උපසම්පදා කරයි නම්, මේ භික්ෂුණියත් පළමුවෙන්ම (වරද කළ මොහොතේම) ඇවැත් වන, (සංඝයාගෙන්) නෙරපීමට හේතු වන සංඝාදිසේස ඇවැතට පැමිණියා වේ.