අටවැනි ශික්ෂාපදය.
8. 7. 9.
1. සැවැත් නුවරදී පැනවූ ශික්ෂාපදයයි – ඒ කාලයේ ෂඩ්වර්ගික භික්ෂූන් මිටි ආසනයක හිඳ, උස් ආසනයක හිඳ සිටින්නාට දහම් දෙසති. අල්පේච්ඡ (ආශා අඩු) යම් භික්ෂූන් කෙනෙක් වූවාහු ද -පෙ- ඔවුහු හෙළා දකිති, නුගුණ කියති, දොස් පතුරුවති: “ෂඩ්වර්ගික භික්ෂූන් මිටි ආසනයක හිඳ, උස් ආසනයක හිඳ සිටින්නාට දහම් දෙසන්නේ කෙසේ නම් ද?” කියා. -පෙ- “මහණෙනි, ඔබ මිටි ආසනයක හිඳ, උස් ආසනයක හිඳ සිටින්නාට දහම් දෙසන බව සැබෑ ද?” “සැබෑ ය, භාග්‍යවතුන් වහන්ස.” භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ගැරහූ සේක. -පෙ- “හිස් පුරුෂයෙනි, ඔබ මිටි ආසනයක හිඳ, උස් ආසනයක හිඳ සිටින්නාට දහම් දෙසන්නේ කෙසේ නම් ද? හිස් පුරුෂයෙනි, මෙය නොපැහැදුණු අයගේ පැහැදීම පිණිස හෝ නොවේ -පෙ-” ගරහා, ධර්ම කතාවක් කොට භික්ෂූන් ඇමතූ සේක.
2. “මහණෙනි, පෙර සිදු වූවක් කියමි: බරණැස් නුවර එක්තරා සැඩොලෙකුගේ (චණ්ඩාලයෙකුගේ) බිරිඳ ගැබිනියක් වූවා ය. එකල්හි මහණෙනි, ඒ සැඩොල් ස්ත්‍රිය ඒ සැඩොලාට මෙසේ කීවා ය: ‘හිමිපුත, මම ගැබිනියක් වෙමි, අඹ කන්නට කැමැත්තෙමි.’ ‘අඹ නැත. මේ අඹ කාලය නොවේ.’ ‘ඉදින් මට නොලැබුණොත් මම මැරෙමි.’ ඒ කාලයේ රජුගේ අඹ ගසක් නිතර ම ගෙඩි ඇති ගසක් විය. එකල්හි මහණෙනි, ඒ සැඩොලා ඒ අඹ ගස වෙත ගියේ ය. ගොස් ඒ අඹ ගසට නැඟ සැඟවී සිටියේ ය.
3. ඉක්බිති මහණෙනි, රජු පුරෝහිත බමුණා සමඟ ඒ අඹ ගස වෙත ගියේ ය. ගොස් උස් ආසනයක හිඳ මන්ත්‍ර ඉගෙන ගනී. එකල්හි මහණෙනි, ඒ සැඩොලාට මේ සිත ඇති විය: ‘උස් ආසනයක හිඳ මන්ත්‍ර ඉගෙන ගන්නා මේ රජු ඉතා ම අදැහැමි ය. මිටි ආසනයක හිඳ, උස් ආසනයක හිඳ සිටින්නාට මන්ත්‍ර උගන්වන මේ බමුණාත් අදැහැමි ය. බිරිඳ නිසා රජුගේ අඹ සොරකම් කරන මමත් අදැහැමි වෙමි. මේ මුළු ලොව ම අදැහැමිකමින් අවුල් වී ඇත’ යි (සිතා) එහි ම (ගසින් බිමට) වැටුණේ ය.
‘යමෙක් මොහුට මන්ත්‍ර උගන්වයි ද, යමෙක් අධර්මයෙන් (නොදැහැමි ලෙස) ඉගෙන ගනී ද, මේ දෙදෙනා ම අර්ථය නොදනිති, ධර්මය නොදකිති.’
‘(මා විසින් රජුගේ) පිරිසිදු මස් වෑංජනවලින් යුත් හැල් බත අනුභව කරන ලදී. එහෙයින් (කුස පිරවීම සඳහා) ධර්මයෙහි නොපවතිමි. මේ ධර්මය ආර්යයන් විසින් වර්ණනා කරන ලද්දක් බව (දනිමි).’
‘බමුණ, (මෙසේ නොදැහැමි ලෙස ලැබූ) ඔබේ යසස් ලාභයට ද ධන ලාභයට ද, (මතු) අපායෙහි හෙළන අධර්මචරණයෙන් (දැන්) පවත්වන දිවි පැවැත්මට ද නින්දා වේවා.’
‘මහා බමුණ, (මේ දිසාවෙන් ඉක්මනින්) පලා යන්න. අනෙක් සත්වයෝ ද පිසති, (අනුභව කරති). ඔබ විසින් කරන ලද මේ අධර්මය, ගලකින් කළයක් බිඳින්නාක් මෙන් ඔබ නොබිඳීවා.’
4. මහණෙනි, එදා පවා මිටි ආසනයක හිඳ, උස් ආසනයක හිඳ සිටින්නාට මන්ත්‍ර උගන්වීම මට අමනාප විය. මෙකල මිටි ආසනයක හිඳ, උස් ආසනයක හිඳ සිටින්නාට දහම් දෙසීම අමනාප නොවන්නේ කෙසේ ද? මහණෙනි, මෙය නොපැහැදුණු අයගේ පැහැදීම පිණිස හෝ නොවේ -පෙ- මහණෙනි, මේ ශික්ෂාපදය මෙසේ උදෙසිය යුතු ය (ප්‍රකාශ කළ යුතු ය):
“මිටි ආසනයක හිඳ, උස් ආසනයක හිඳ සිටින ගිලන් නොවූවකුට දහම් නොදෙසන්නෙමි යි හික්මිය යුතු ය.”
5. මිටි ආසනයක හිඳ, උස් ආසනයක හිඳ සිටින ගිලන් නොවූවකුට දහම් නොදෙසිය යුතු ය. යමෙක් අගෞරවයෙන් මිටි ආසනයක හිඳ, උස් ආසනයක හිඳ සිටින ගිලන් නොවූවකුට දහම් දෙසයි නම් දුක්කට ඇවැතක් වේ.
ඇවැත් නැත: නොසිතා කරන්නාට -පෙ- මුලින්ම මේ වරද කළ තැනැත්තාට (ආදිකම්මිකයාට) ඇවැත් නැත.
නවවැනි ශික්ෂාපදය.