හත්වන ශික්ෂාපදයයි.
8. 4. 8.
1. සැවැත් නුවරදී පැනවූ ශික්ෂාපදයයි – එකල්හි ෂඩ්වර්ගික භික්ෂූන් දොස් සොයන අදහසින් අනුන්ගේ පාත්‍රය බලති -පෙ-
“දොස් සොයන අදහසින් අනුන් වළඳන පාත්‍රය නොබලන්නෙමි”යි හික්මිය යුතුය.
2. දොස් සොයන අදහසින් අනුන් වළඳන පාත්‍රය නොබැලිය යුතුය. යමෙක් අනාදරයෙන්, දොස් සොයන අදහසින් අනුන්ගේ පාත්‍රය බලයි නම් දුක්කට ඇවැත් වේ.
3. ඇවැත් නැත: නොසිතා කරන්නාට, සිහිය නැතිව කරන්නාට, නොදන්නාට ඇවැත් නැත. “දෙන්නෙමි” කියා හෝ “දීමට සලස්වන්නෙමි” කියා හෝ බලන්නේ නම්, දොස් සොයන අදහසක් නැත්තාට, ආපදාවලදී ඇවැත් නැත. සිහි විකල් වූවෙකුට ද, මුලින්ම මේ වරද කළ තැනැත්තාට (ආදිකම්මිකයාට) ද ඇවැත් නැත.
අටවන ශික්ෂාපදයයි.
8. 4. 9.
සැවැත් නුවරදී පැනවූ ශික්ෂාපදයයි – එකල්හි ෂඩ්වර්ගික භික්ෂූන් විශාල කොට බත් පිඩ සාදති -පෙ-
“ඉතා විශාල කොට බත් පිඩ නොසාදන්නෙමි”යි හික්මිය යුතුය.
ඉතා විශාල කොට බත් පිඩ නොසෑදිය යුතුය. යමෙක් අනාදරයෙන් විශාල කොට බත් පිඩ සාදයි නම් දුක්කට ඇවැත් වේ.
ඇවැත් නැත: නොසිතා කරන්නාට, සිහිය නැතිව කරන්නාට, නොදන්නාට, ගිලන් වූවාට, කැවිලි වළඳන විට, පලතුරු වළඳන විට, ව්‍යංජන වළඳන විට, ආපදාවලදී ඇවැත් නැත. සිහි විකල් වූවෙකුට ද, මුලින්ම මේ වරද කළ තැනැත්තාට (ආදිකම්මිකයාට) ද ඇවැත් නැත.
නවවන ශික්ෂාපදයයි.
8. 4. 10.
1. සැවැත් නුවරදී පැනවූ ශික්ෂාපදයයි – එකල්හි ෂඩ්වර්ගික භික්ෂූන් දිගටි කොට බත් පිඩ සාදති -පෙ-
“වටකුරු කොට බත් පිඩ සාදන්නෙමි”යි හික්මිය යුතුය.
2. වටකුරු කොට බත් පිඩ සෑදිය යුතුය. යමෙක් අනාදරයෙන් දිගටි කොට බත් පිඩ සාදයි නම් දුක්කට ඇවැත් වේ.
3. ඇවැත් නැත: නොසිතා කරන්නාට, සිහිය නැතිව කරන්නාට, නොදන්නාට, ගිලන් වූවාට, කැවිලි වළඳන විට, පලතුරු වළඳන විට, ව්‍යංජන වළඳන විට, ආපදාවලදී ඇවැත් නැත. සිහි විකල් වූවෙකුට ද, මුලින්ම මේ වරද කළ තැනැත්තාට (ආදිකම්මිකයාට) ද ඇවැත් නැත.
දහවන ශික්ෂාපදයයි.
සතරවන සක්කච්ච වර්ගයයි.