සක්කච්ච වර්ගය
8. 4. 1.
ඒ කාලයෙහි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර ජේතවනය නම් වූ අනේපිඬු සිටුතුමාගේ ආරාමයෙහි වැඩ වසන සේක. ඒ කාලයෙහි ෂඩ්වර්ගික භික්ෂූන් වළඳන්නට අකමැති අය මෙන් සැලකිල්ලක් නැතිව පිණ්ඩපාතය වළඳති -පෙ-
“සැලකිල්ලෙන් යුතුව පිණ්ඩපාතය වළඳන්නෙමි යැයි හික්මිය යුතුය.”
සිහිය පිහිටුවා සැලකිල්ලෙන් පිණ්ඩපාතය වැළඳිය යුතුය. යමෙක් අනාදරයෙන් සැලකිල්ලක් නැතිව පිණ්ඩපාතය වළඳයි නම් දුක්කට ඇවැත් වේ.
ඇවැත් නැත: නොසිතා කරන්නාට, සිහිය නැතිව කරන්නාට, නොදන්නාට, ගිලන් වූවාට, ආපදාවලදී, සිහි විකල් වූවෙකුට ද, මුලින්ම මේ වරද කළ තැනැත්තාට (ආදිකම්මිකයාට) ද ඇවැත් නැත.
පළමුවන ශික්ෂාපදය යි.
8. 4. 2.
සැවැත් නුවරදී පැනවූ ශික්‍ෂාපදයයි – ඒ කාලයෙහි ෂඩ්වර්ගික භික්ෂූන් ඒ ඒ තැන බලමින් පිණ්ඩපාතය වළඳති. (පිණ්ඩපාතය) බෙදන විටත්, (බෙදා) ඉවත් ව යන විටත් නොදනිති -පෙ-
“පාත්‍රය කෙරෙහි සිත යොමු කරගෙන පිණ්ඩපාතය වළඳන්නෙමි යැයි හික්මිය යුතුය.”
පාත්‍රය කෙරෙහි සිත යොමු කරගෙන පිණ්ඩපාතය වැළඳිය යුතුය. යමෙක් අනාදරයෙන් ඒ ඒ තැන බලමින් පිණ්ඩපාතය වළඳයි නම් දුක්කට ඇවැත් වේ.
ඇවැත් නැත: නොසිතා කරන්නාට, සිහිය නැතිව කරන්නාට, නොදන්නාට, ගිලන් වූවාට, ආපදාවලදී, සිහි විකල් වූවෙකුට ද, මුලින්ම මේ වරද කළ තැනැත්තාට (ආදිකම්මිකයාට) ද ඇවැත් නැත.
දෙවන ශික්ෂාපදය යි.
8. 4. 3.
සැවැත් නුවරදී පැනවූ ශික්‍ෂාපදයයි – ඒ කාලයෙහි ෂඩ්වර්ගික භික්ෂූන් ඒ ඒ තැන අත ගසමින් පිණ්ඩපාතය වළඳති -පෙ-
“තමා අසල සිට පටන්ගෙන පිළිවෙළින් පිණ්ඩපාතය වළඳන්නෙමි යැයි හික්මිය යුතුය.”
පිළිවෙළින් පිණ්ඩපාතය වැළඳිය යුතුය. යමෙක් අනාදරයෙන් ඒ ඒ තැන අත ගසමින් පිණ්ඩපාතය වළඳයි නම් දුක්කට ඇවැත් වේ.
ඇවැත් නැත: නොසිතා කරන්නාට, සිහිය නැතිව කරන්නාට, නොදන්නාට, ගිලන් වූවාට, අන් අයට දෙන විට අත ගසයි නම්, වෙනත් බඳුනකට දමන විට අත ගසයි නම්, ව්‍යංජන ගැනීමේදී නම් ඇවැත් නැත. ආපදාවලදී, සිහි විකල් වූවෙකුට ද, මුලින්ම මේ වරද කළ තැනැත්තාට (ආදිකම්මිකයාට) ද ඇවැත් නැත.
තුන්වන ශික්ෂාපදය යි.
8. 4. 4.
සැවැත් නුවරදී පැනවූ ශික්‍ෂාපදයයි – ඒ කාලයෙහි ෂඩ්වර්ගික භික්ෂූන් පිණ්ඩපාතය වළඳන විට සූපයම (මුං, උඳු ආදියෙන් සැදූ හොද්දම) බොහෝ කොට වළඳති -පෙ-
“බතින් හතරෙන් කොටසකට වඩා නොවැඩි සූප ඇති පිණ්ඩපාතය වළඳන්නෙමි යැයි හික්මිය යුතුය.”
සූපය නම්: අතින් ගත හැකි මුං සූපය, උඳු සූපය යන සූප දෙකකි. බතින් හතරෙන් කොටසකට වඩා නොවැඩි සූප ඇති පිණ්ඩපාතය වැළඳිය යුතුය. යමෙක් අනාදරයෙන් සූපයම බොහෝ කොට වළඳයි නම් දුක්කට ඇවැත් වේ.
ඇවැත් නැත: නොසිතා කරන්නාට, සිහිය නැතිව කරන්නාට, නොදන්නාට, ගිලන් වූවාට, (සූපය හැර අන්) රස ව්යංජනවලදී නම්, නෑයන්ගෙන් නම්, පවාරණය කළ (ඉල්ලීමට ඉඩ දුන්) අයගෙන් නම්, තමාගේම ධනයෙන් නම් ඇවැත් නැත. ආපදාවලදී, සිහි විකල් වූවෙකුට ද, මුලින්ම මේ වරද කළ තැනැත්තාට (ආදිකම්මිකයාට) ද ඇවැත් නැත.
හතරවන ශික්ෂාපදය යි.
8. 4. 5.
සැවැත් නුවරදී පැනවූ ශික්‍ෂාපදයයි – ඒ කාලයෙහි ෂඩ්වර්ගික භික්ෂූන් බත් ගොඩේ මැදින් තලා පිණ්ඩපාතය වළඳති -පෙ-
“බත් ගොඩේ මැදින් තලා පිණ්ඩපාතය නොවළඳන්නෙමි යැයි හික්මිය යුතුය.”
බත් ගොඩේ මැදින් තලා පිණ්ඩපාතය නොවැළඳිය යුතුය. යමෙක් අනාදරයෙන් බත් ගොඩේ මැදින් තලා පිණ්ඩපාතය වළඳයි නම් දුක්කට ඇවැත් වේ.
ඇවැත් නැත: නොසිතා කරන්නාට, සිහිය නැතිව කරන්නාට, නොදන්නාට, ගිලන් වූවාට, ඉතිරි වූ ස්වල්ප බත එක තැනකට ඇද තලා වළඳයි නම් ඇවැත් නැත. ආපදාවලදී, සිහි විකල් වූවෙකුට ද, මුලින්ම මේ වරද කළ තැනැත්තාට (ආදිකම්මිකයාට) ද ඇවැත් නැත.
පස්වන ශික්ෂාපදය.
8. 4. 6.
සැවැත් නුවරදී පැනවූ ශික්‍ෂාපදයයි – එකල ෂඩ්වර්ගික භික්ෂූහු (හය දෙනෙකුගෙන් යුත් භික්ෂු කණ්ඩායම) වැඩියෙන් ලබා ගැනීමේ කැමැත්ත නිසා සූප (හොදි) ද ව්‍යංජන (කරි) ද බතින් වසා දමති -පෙ-
“වැඩියෙන් ලබා ගැනීමේ කැමැත්ත නිසා සූප හෝ ව්‍යංජන හෝ බතින් වසා නොදමන්නෙමි යි හික්මිය යුතුයි.”
වැඩියෙන් ලබා ගැනීමේ කැමැත්ත නිසා සූප හෝ ව්‍යංජන හෝ බතින් වසා නොදැමිය යුතුය. යමෙක් අනාදරයෙන්, වැඩියෙන් ලබා ගැනීමේ කැමැත්ත නිසා සූප හෝ ව්‍යංජන හෝ බතින් වසා දමයි නම් දුක්කට ඇවැත් වේ.
ඇවැත් නැත: නොසිතා කරන්නාට, සිහිය නැතිව කරන්නාට, නොදන්නාට, දායකයෝ බතින් වසා දෙති නම්, වැඩියෙන් ලබා ගැනීමේ කැමැත්තක් නැති විට නම් ඇවැත් නැත. ආපදාවලදී, සිහි විකල් වූවෙකුට ද, මුලින්ම මේ වරද කළ තැනැත්තාට (ආදිකම්මිකයාට) ද ඇවැත් නැත.
හයවන ශික්ෂාපදය.