පස්වන ශික්ෂාපදය.
8. 4. 6.
සැවැත් නුවරදී පැනවූ ශික්‍ෂාපදයයි – එකල ෂඩ්වර්ගික භික්ෂූහු (හය දෙනෙකුගෙන් යුත් භික්ෂු කණ්ඩායම) වැඩියෙන් ලබා ගැනීමේ කැමැත්ත නිසා සූප (හොදි) ද ව්‍යංජන (කරි) ද බතින් වසා දමති -පෙ-
“වැඩියෙන් ලබා ගැනීමේ කැමැත්ත නිසා සූප හෝ ව්‍යංජන හෝ බතින් වසා නොදමන්නෙමි යි හික්මිය යුතුයි.”
වැඩියෙන් ලබා ගැනීමේ කැමැත්ත නිසා සූප හෝ ව්‍යංජන හෝ බතින් වසා නොදැමිය යුතුය. යමෙක් අනාදරයෙන්, වැඩියෙන් ලබා ගැනීමේ කැමැත්ත නිසා සූප හෝ ව්‍යංජන හෝ බතින් වසා දමයි නම් දුක්කට ඇවැත් වේ.
ඇවැත් නැත: නොසිතා කරන්නාට, සිහිය නැතිව කරන්නාට, නොදන්නාට, දායකයෝ බතින් වසා දෙති නම්, වැඩියෙන් ලබා ගැනීමේ කැමැත්තක් නැති විට නම් ඇවැත් නැත. ආපදාවලදී, සිහි විකල් වූවෙකුට ද, මුලින්ම මේ වරද කළ තැනැත්තාට (ආදිකම්මිකයාට) ද ඇවැත් නැත.
හයවන ශික්ෂාපදය.
8. 4. 7.
1. සැවැත් නුවරදී පැනවූ ශික්‍ෂාපදයයි – එකල ෂඩ්වර්ගික භික්ෂූහු සූප ද බත් ද තමන් සඳහා ඉල්ලා ගෙන වැළඳූහ. මිනිස්සු හෙළා දකිති, නුගුණ කියති, දොස් පතුරුවති: “කෙසේ නම් ශාක්‍යපුත්‍ර ශ්‍රමණයෝ සූප ද බත් ද තමන් සඳහා ඉල්ලා ගෙන වළඳත් ද? මිහිරි දේ කාට නම් අකමැති ද? රසවත් දේ කාට නම් නොරිසි ද?”
2. හෙළා දකින, නුගුණ කියන, දොස් පතුරුවන ඒ මිනිසුන්ගේ [අපකීර්තිය] භික්ෂූහු ඇසූහ. අල්පේච්ඡ (ආශා අඩු) වූ යම් ඒ භික්ෂූන් කෙනෙක් වූවාහු ද -පෙ- ඔවුහු හෙළා දකිති, නුගුණ කියති, දොස් පතුරුවති: “කෙසේ නම් ෂඩ්වර්ගික භික්ෂූහු සූප ද බත් ද තමන් සඳහා ඉල්ලා ගෙන වළඳත් ද?” -පෙ- “මහණෙනි, ඔබ සූප ද බත් ද තමන් සඳහා ඉල්ලා ගෙන වළඳන බව සැබෑ ද?” “සැබෑ ය, භාග්‍යවතුන් වහන්ස.” භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ගැරහූ සේක -පෙ- “හිස් පුරුෂයෙනි, කෙසේ නම් ඔබ සූප ද බත් ද තමන් සඳහා ඉල්ලා ගෙන වළඳන්නහු ද? හිස් පුරුෂයෙනි, මෙය නොපැහැදුණු අය පැහැදීම පිණිස හෝ නොවේ -පෙ- මහණෙනි, මේ ශික්ෂාපදය මෙසේ උදෙසිය යුතු ය (ප්‍රකාශ කළ යුතු ය):
“සූප හෝ බත් හෝ තමන් සඳහා ඉල්ලා ගෙන නොවළඳන්නෙමි යි හික්මිය යුතුයි.”
මෙසේ භාග්‍යවතුන් වහන්සේ විසින් භික්ෂූන්ට මේ ශික්ෂාපදය පනවන ලද්දේ වෙයි.
3. එකල භික්ෂූහු ගිලන් වූහ. ගිලනුන්ගේ සුවදුක් විමසන භික්ෂූහු ගිලන් භික්ෂූන්ට මෙසේ කීහ: “ඇවැත්නි, ඉවසිය හැකි ද? යැපිය හැකි ද?” “ඇවැත්නි, අපි පෙර සූප ද බත් ද තමන් සඳහා ඉල්ලා ගෙන වැළඳුවෙමු. එයින් අපට පහසු විය. එහෙත් දැන් භාග්‍යවතුන් වහන්සේ විසින් එය තහනම් කරන ලදැයි සැක කුකුස් ඇතිව අපි ඉල්ලා නොගනිමු. එයින් අපට පහසු නොවේ.” භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට මේ කරුණ දැන්වූහ. එවිට භාග්‍යවතුන් වහන්සේ මේ කාරණය නිසා, මේ අවස්ථාවේදී ධර්ම කතාවක් කොට භික්ෂූන් ඇමතූ සේක: “මහණෙනි, ගිලන් භික්ෂුවට සූප ද බත් ද තමන් සඳහා ඉල්ලා ගෙන වළඳන්නට අනුමත කරමි.” මහණෙනි, මේ ශික්ෂාපදය මෙසේ උදෙසිය යුතු ය (ප්‍රකාශ කළ යුතු ය):
“ගිලන් නොවී සිට සූප හෝ බත් හෝ තමන් සඳහා ඉල්ලා ගෙන නොවළඳන්නෙමි යි හික්මිය යුතුයි.”