දහවන ශික්ෂාපදය යි.
තුන්වන ඛම්භකත වර්ගය යි.
සක්කච්ච වර්ගය
8. 4. 1.
ඒ කාලයෙහි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර ජේතවනය නම් වූ අනේපිඬු සිටුතුමාගේ ආරාමයෙහි වැඩ වසන සේක. ඒ කාලයෙහි ෂඩ්වර්ගික භික්ෂූන් වළඳන්නට අකමැති අය මෙන් සැලකිල්ලක් නැතිව පිණ්ඩපාතය වළඳති -පෙ-
“සැලකිල්ලෙන් යුතුව පිණ්ඩපාතය වළඳන්නෙමි යැයි හික්මිය යුතුය.”
සිහිය පිහිටුවා සැලකිල්ලෙන් පිණ්ඩපාතය වැළඳිය යුතුය. යමෙක් අනාදරයෙන් සැලකිල්ලක් නැතිව පිණ්ඩපාතය වළඳයි නම් දුක්කට ඇවැත් වේ.
ඇවැත් නැත: නොසිතා කරන්නාට, සිහිය නැතිව කරන්නාට, නොදන්නාට, ගිලන් වූවාට, ආපදාවලදී, සිහි විකල් වූවෙකුට ද, මුලින්ම මේ වරද කළ තැනැත්තාට (ආදිකම්මිකයාට) ද ඇවැත් නැත.
පළමුවන ශික්ෂාපදය යි.
8. 4. 2.
සැවැත් නුවරදී පැනවූ ශික්ෂාපදයයි – ඒ කාලයෙහි ෂඩ්වර්ගික භික්ෂූන් ඒ ඒ තැන බලමින් පිණ්ඩපාතය වළඳති. (පිණ්ඩපාතය) බෙදන විටත්, (බෙදා) ඉවත් ව යන විටත් නොදනිති -පෙ-
“පාත්‍රය කෙරෙහි සිත යොමු කරගෙන පිණ්ඩපාතය වළඳන්නෙමි යැයි හික්මිය යුතුය.”
පාත්‍රය කෙරෙහි සිත යොමු කරගෙන පිණ්ඩපාතය වැළඳිය යුතුය. යමෙක් අනාදරයෙන් ඒ ඒ තැන බලමින් පිණ්ඩපාතය වළඳයි නම් දුක්කට ඇවැත් වේ.
ඇවැත් නැත: නොසිතා කරන්නාට, සිහිය නැතිව කරන්නාට, නොදන්නාට, ගිලන් වූවාට, ආපදාවලදී, සිහි විකල් වූවෙකුට ද, මුලින්ම මේ වරද කළ තැනැත්තාට (ආදිකම්මිකයාට) ද ඇවැත් නැත.
දෙවන ශික්ෂාපදය යි.
8. 4. 3.
සැවැත් නුවරදී පැනවූ ශික්ෂාපදයයි – ඒ කාලයෙහි ෂඩ්වර්ගික භික්ෂූන් ඒ ඒ තැන අත ගසමින් පිණ්ඩපාතය වළඳති -පෙ-
“තමා අසල සිට පටන්ගෙන පිළිවෙළින් පිණ්ඩපාතය වළඳන්නෙමි යැයි හික්මිය යුතුය.”
පිළිවෙළින් පිණ්ඩපාතය වැළඳිය යුතුය. යමෙක් අනාදරයෙන් ඒ ඒ තැන අත ගසමින් පිණ්ඩපාතය වළඳයි නම් දුක්කට ඇවැත් වේ.
ඇවැත් නැත: නොසිතා කරන්නාට, සිහිය නැතිව කරන්නාට, නොදන්නාට, ගිලන් වූවාට, අන් අයට දෙන විට අත ගසයි නම්, වෙනත් බඳුනකට දමන විට අත ගසයි නම්, ව්‍යංජන ගැනීමේදී නම් ඇවැත් නැත. ආපදාවලදී, සිහි විකල් වූවෙකුට ද, මුලින්ම මේ වරද කළ තැනැත්තාට (ආදිකම්මිකයාට) ද ඇවැත් නැත.
තුන්වන ශික්ෂාපදය යි.