අටවැනි ශික්ෂාපදයයි.
8. 1. 9.
1. එකල භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර ජේතවනය නම් වූ අනේපිඬු සිටුතුමාගේ ආරාමයෙහි වැඩවසන සේක. එකල ෂඩ්වර්ගික භික්ෂූහු සිවුර ඔසවාගෙන ගම ඇතුළෙහි යති -පෙ-
“සිවුර ඔසවාගෙන ගම ඇතුළෙහි නොයන්නෙමියි හික්මිය යුතුයි.”
2. සිවුර ඔසවාගෙන ගම ඇතුළෙහි නොයා යුතුය. යමෙක් අනාදරයෙන් එක් පැත්තකින් හෝ දෙපැත්තෙන් හෝ (සිවුර) ඔසවාගෙන ගම ඇතුළෙහි යයි නම් දුක්කට ඇවැත් වේ.
ඇවැත් නැත: නොසිතා කරන්නාට, සිහිය නැතිව කරන්නාට, නොදන්නාට, ගිලනාට, ආපදාවලදී, සිහි විකල් වූවෙකුට ද, මුලින්ම මේ වරද කළ තැනැත්තාට (ආදිකම්මිකයාට) ද ඇවැත් නැත.
නවවැනි ශික්ෂාපදයයි.
8. 1. 10.
1. එකල භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර ජේතවනය නම් වූ අනේපිඬු සිටුතුමාගේ ආරාමයෙහි වැඩවසන සේක. එකල ෂඩ්වර්ගික භික්ෂූහු සිවුර ඔසවාගෙන ගම ඇතුළෙහි හිඳිති -පෙ-
“සිවුර ඔසවාගෙන ගම ඇතුළෙහි නොහිඳින්නෙමියි හික්මිය යුතුයි.”
2. සිවුර ඔසවාගෙන ගම ඇතුළෙහි නොහිඳිය යුතුය. යමෙක් අනාදරයෙන් එක් පැත්තකින් හෝ දෙපැත්තෙන් හෝ (සිවුර) ඔසවාගෙන ගම ඇතුළෙහි හිඳී නම් දුක්කට ඇවැත් වේ.
ඇවැත් නැත: නොසිතා කරන්නාට, සිහිය නැතිව කරන්නාට, නොදන්නාට, ගිලනාට, වාසය සඳහා (ගෙයක) නැවතී සිටින්නාට, ආපදාවලදී, සිහි විකල් වූවෙකුට ද, මුලින්ම මේ වරද කළ තැනැත්තාට (ආදිකම්මිකයාට) ද ඇවැත් නැත.
දසවැනි ශික්ෂාපදයයි.
පළමුවන පරිමණ්ඩල වර්ගයයි.
උජ්ජග්ඝික වර්ගය
8. 2. 1.
1. එකල භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර ජේතවනය නම් වූ අනේපිඬු සිටුතුමාගේ ආරාමයෙහි වැඩවසන සේක. එකල ෂඩ්වර්ගික භික්ෂූහු මහ හඬින් සිනාසෙමින් ගම ඇතුළෙහි යති -පෙ-
“මහ හඬින් සිනාසෙමින් ගම ඇතුළෙහි නොයන්නෙමියි හික්මිය යුතුයි.”
2. මහ හඬින් සිනාසෙමින් ගම ඇතුළෙහි නොයා යුතුය. යමෙක් අනාදරයෙන් මහ හඬින් සිනාසෙමින් ගම ඇතුළෙහි යයි නම් දුක්කට ඇවැත් වේ.
ඇවැත් නැත: නොසිතා කරන්නාට, සිහිය නැතිව කරන්නාට, නොදන්නාට, ගිලනාට, සිනාසිය යුතු කරුණක් ඇති විට මඳ සිනාවක් පමණක් කරන්නාට, ආපදාවලදී, සිහි විකල් වූවෙකුට ද, මුලින්ම මේ වරද කළ තැනැත්තාට (ආදිකම්මිකයාට) ද ඇවැත් නැත.
පළමුවැනි ශික්ෂාපදයයි.
8. 2. 2.
1. සැවැත් නුවරදී පැනවූ ශික්ෂාපදයයි එකල ෂඩ්වර්ගික භික්ෂූහු මහ හඬින් සිනාසෙමින් ගම ඇතුළෙහි හිඳිති -පෙ-
“මහ හඬින් සිනාසෙමින් ගම ඇතුළෙහි නොහිඳින්නෙමියි හික්මිය යුතුයි.”
2. මහ හඬින් සිනාසෙමින් ගම ඇතුළෙහි නොහිඳිය යුතුය. යමෙක් අනාදරයෙන් මහ හඬින් සිනාසෙමින් ගම ඇතුළෙහි හිඳී නම් දුක්කට ඇවැත් වේ.
අනාපත්ති: නොසිතා කරන්නාට, සිහිය නැතිව කරන්නාට, නොදන්නාට, ගිලනාට, සිනාසිය යුතු කරුණක් ඇති විට මඳ සිනාවක් පමණක් කරන්නාට, ආපදාවලදී, සිහි විකල් වූවෙකුට ද, මුලින්ම මේ වරද කළ තැනැත්තාට (ආදිකම්මිකයාට) ද ඇවැත් නැත.
දෙවන ශික්ෂාපදය
8. 2. 3.
1. සැවැත් නුවරදී පැනවූ ශික්ෂාපදයයි – එකල ෂඩ්වර්ගික භික්ෂූන් (හය දෙනෙකුගෙන් යුත් භික්ෂු කණ්ඩායම) උස් හඬින්, මහ හඬින් කතා කරමින් ගම ඇතුළෙහි යති. -පෙ-
“අඩු හඬින් යුක්තව ගම ඇතුළෙහි යන්නෙමි” යි හික්මිය යුතුය.
2. අඩු හඬින් යුක්තව ගම ඇතුළෙහි යා යුතුය. යමෙක් අනාදරයෙන් උස් හඬින්, මහ හඬින් කතා කරමින් ගම ඇතුළෙහි යයි නම් දුක්කට ඇවැත් වේ.
ඇවැත් නැත: නොසිතා කරන්නාට, සිහිය නැතිව කරන්නාට, නොදන්නාට, ගිලනාට, ආපදාවලදී, සිහි විකල් වූවෙකුට ද, මුලින්ම මේ වරද කළ තැනැත්තාට (ආදිකම්මිකයාට) ද ඇවැත් නැත.
තුන්වන ශික්ෂාපදය