6. 8. 2.
විලේඛන ශික්ෂාපදය
1. ඒ කාලයේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර ජේතවනය නම් වූ අනේපිඬු සිටුතුමාගේ ආරාමයෙහි වැඩ වසන සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ නොයෙක් අයුරින් භික්ෂූන්ට විනය කථාව කරන සේක, විනයේ ගුණ පවසන සේක, විනය කටපාඩම් කිරීමේ අනුසස් (යහපත් ප්‍රතිඵල) පවසන සේක, නැවත නැවතත් ආයුෂ්මත් උපාලි තෙරුන්ගේ ගුණ පවසන සේක. භික්ෂූහු “භාග්‍යවතුන් වහන්සේ නොයෙක් අයුරින් විනය කථාව කරන සේක, විනයේ ගුණ පවසන සේක, විනය කටපාඩම් කිරීමේ අනුසස් දේශනා කරන සේක, නැවත නැවතත් ආයුෂ්මත් උපාලි තෙරුන්ගේ ගුණ පවසන සේක. එබැවින් ඇවැත්නි, අපි ආයුෂ්මත් උපාලි තෙරුන් ළඟ විනය ඉගෙන ගනිමු” යි කීහ. තෙරුන් ද නවක භික්ෂූන් ද මධ්‍යම භික්ෂූන් ද වූ ඒ බොහෝ භික්ෂූහු ආයුෂ්මත් උපාලි තෙරුන් ළඟ විනය ඉගෙන ගනිති.
2. එකල්හි ෂඩ්වර්ගික භික්ෂූන්ට මේ සිතුවිල්ල ඇති විය: “ඇවැත්නි, මේ කාලයේ තෙරුන් ද නවක භික්ෂූන් ද මධ්‍යම භික්ෂූන් ද වූ බොහෝ භික්ෂූහු ආයුෂ්මත් උපාලි තෙරුන් ළඟ විනය ඉගෙන ගනිති. මොවුන් විනය දන්නෝ වුවහොත්, ඔවුන් කැමති තැනකට, කැමති ලෙසකින්, කැමති තරමක් අප අදිනු ඇත, එහාට මෙහාට අදිනු ඇත. එබැවින් ඇවැත්නි, අපි විනයට ගරහමු” යි. එකල්හි ෂඩ්වර්ගික භික්ෂූහු භික්ෂූන් වෙත ගොස් මෙසේ කියති: “මේ කුඩා හා ඉතා කුඩා ශික්ෂාපද උදෙසීමෙන් ඇති වැඩේ කුමක් ද? මේවා හුදෙක් කුකුස (පසුතැවිල්ල) පිණිස, වෙහෙස පිණිස, සැකය පිණිස ම පවතී” යි.
3. අල්පේච්ඡ (ආශා අඩු) යම් ඒ භික්ෂූන් කෙනෙක් වූවාහු ද -පෙ- ඔවුහු “කෙසේ නම් ෂඩ්වර්ගික භික්ෂූහු විනයට ගරහත් ද?” යි හෙළා දකිති, නුගුණ කියති, දොස් පතුරුවති. -පෙ- “මහණෙනි, ඔබ විනයට ගරහන බව සැබෑ ද?” “සැබෑ ය, භාග්‍යවතුන් වහන්ස.” භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ගැරහූ සේක. -පෙ- “හිස් පුරුෂයෙනි, ඔබ කෙසේ නම් විනයට ගරහන්නහු ද? හිස් පුරුෂයෙනි, මෙය නොපැහැදුණු අයගේ පැහැදීම පිණිස හෝ නොවේ. -පෙ- මහණෙනි, මේ ශික්ෂාපදය මෙසේ උදෙසිය යුතු ය (ප්‍රකාශ කළ යුතු ය):
“ප්රාතිමෝක්ෂය උදෙසන කල්හි යම් භික්ෂුවක් ‘මේ කුඩා හා ඉතා කුඩා ශික්ෂාපද උදෙසීමෙන් ඇති වැඩේ කුමක් ද? මේවා හුදෙක් කුකුස පිණිස, වෙහෙස පිණිස, සැකය පිණිස ම පවතී’ යි මෙසේ කියයි නම්, ශික්ෂාපදවලට ගැරහීම නිසා පාචිත්තිය ඇවැත් වේ” යි.
4. යො පන යනු: යමෙක්, යම් ආකාර කෙනෙක් -පෙ- භික්ඛු යනු: -පෙ- මේ අර්ථයෙහි අදහස් කරන ලද භික්ෂුව මොහු ය.
පාතිමොක්ඛෙ උද්දිස්සමානෙ (ප්රාතිමෝක්ෂය උදෙසන කල්හි) යනු: උදෙසන කල්හි හෝ, උදෙසවන කල්හි හෝ, සජ්ඣායනා කරන (හඬ නගා කියවන) කල්හි හෝ ය.
එවං වදෙය්ය (මෙසේ කියයි නම්) යනු: “උදෙසන ලද මේ කුඩා හා ඉතා කුඩා ශික්ෂාපදවලින් ඇති වැඩේ කුමක් ද? මේවා හුදෙක් කුකුස පිණිස, වෙහෙස පිණිස, සැකය පිණිස ම පවතී. යමෙක් මෙය ඉගෙන ගනිත් නම්, ඔවුන්ට කුකුස ඇති වෙයි, වෙහෙස ඇති වෙයි, සැකය ඇති වෙයි. යමෙක් මෙය ඉගෙන නොගනිත් නම්, ඔවුන්ට කුකුස ඇති නොවෙයි, වෙහෙස ඇති නොවෙයි, සැකය ඇති නොවෙයි. මෙය නොඋදෙසුවොත් හොඳ ය. මෙය ඉගෙන නොගත්තොත් හොඳ ය. මෙය කටපාඩම් නොකළොත් හොඳ ය. මෙය මතකයේ නොදැරුවොත් හොඳ ය. විනය හෝ අතුරුදන් වේවා. මේ භික්ෂූන් හෝ විනය නොදන්නෝ වෙත්වා” යි උපසම්පදාව ලත් භික්ෂුවකට විනයට ගරහයි නම් පාචිත්තිය ඇවැත් වේ.
5. උපසම්පදාව ලත් කෙනෙකු ගැන ‘උපසම්පදාව ලත් කෙනෙකි’ යන හැඟීමෙන් යුතුව විනයට ගරහයි නම් පාචිත්තිය ඇවැත් වේ. උපසම්පදාව ලත් කෙනෙකු ගැන සැක සහිතව විනයට ගරහයි නම් පාචිත්තිය ඇවැත් වේ. උපසම්පදාව ලත් කෙනෙකු ගැන ‘උපසම්පදාව නොලත් කෙනෙකි’ යන හැඟීමෙන් යුතුව විනයට ගරහයි නම් පාචිත්තිය ඇවැත් වේ.
6. වෙනත් ධර්මයකට ගරහයි නම් දුක්කට ඇවැත් වේ. උපසම්පදාව නොලත් කෙනෙකුට විනයට හෝ වෙනත් ධර්මයකට හෝ ගරහයි නම් දුක්කට ඇවැත් වේ.
7. උපසම්පදාව නොලත් කෙනෙකු ගැන ‘උපසම්පදාව ලත් කෙනෙකි’ යන හැඟීමෙන් යුතු නම් දුක්කට ඇවැත් වේ. උපසම්පදාව නොලත් කෙනෙකු ගැන සැක සහිත නම් දුක්කට ඇවැත් වේ. උපසම්පදාව නොලත් කෙනෙකු ගැන ‘උපසම්පදාව නොලත් කෙනෙකි’ යන හැඟීමෙන් යුතු නම් දුක්කට ඇවැත් වේ.
8. ඇවැත් නැත: ගරහන්නට අදහසක් නැතිව “දැන් පළමුව සූත්‍ර හෝ ගාථා හෝ අභිධර්මය හෝ ඉගෙන ගන්න, පසුව විනය ද ඉගෙන ගන්න” යි කියයි නම් ඇවැත් නැත. සිහි විකල් වූවෙකුට ද, මුලින්ම මේ වරද කළ තැනැත්තාට (ආදිකම්මිකයාට) ද ඇවැත් නැත.
දෙවැනි විලේඛන ශික්ෂාපදය යි.