6. 8. 3.
මෝහන ශික්ෂාපදය
1. එකල්හි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර අනේපිඬු සිටුතුමාගේ ජේතවන ආරාමයෙහි වැඩ වසන සේක. එකල්හි ෂඩ්වර්ගික භික්ෂූන් ශික්ෂාපද ඉක්මවා නුසුදුසු ලෙස හැසිර, ‘මොවුන් ඇවැත්වලට පැමිණියේ නොදැනීම නිසා ය’ යි අනුන් දැනගනිත්වා යි සිතා, ප්රාතිමෝක්ෂය උදෙසන කල්හි මෙසේ කියති: “මේ ශික්ෂාපදය ද විනය ශික්ෂාවෙහි ආවකි, විනය ශික්ෂාවට ඇතුළත් වූවකි, අඩමසකට වරක් උදෙසීමට පැමිණෙන්නකි යි අපි දැනගත්තේ දැන් ම ය.”
2. අල්පේච්ඡ (ආශා අඩු) යම් ඒ භික්ෂූන් කෙනෙක් වූවාහු ද -පෙ- ඔවුහු හෙළා දකිති, නුගුණ කියති, දොස් පතුරුවති: “කෙසේ නම් ෂඩ්වර්ගික භික්ෂූන් ප්රාතිමෝක්ෂය උදෙසන කල්හි ‘මේ ශික්ෂාපදය ද විනය ශික්ෂාවෙහි ආවකි, විනය ශික්ෂාවට ඇතුළත් වූවකි, අඩමසකට වරක් උදෙසීමට පැමිණෙන්නකි යි අපි දැනගත්තේ දැන් ම ය’ යි මෙසේ කියත් ද?” -පෙ- “මහණෙනි, ඔබ ප්රාතිමෝක්ෂය උදෙසන කල්හි ‘මේ ශික්ෂාපදය ද විනය ශික්ෂාවෙහි ආවකි, විනය ශික්ෂාවට ඇතුළත් වූවකි, අඩමසකට වරක් උදෙසීමට පැමිණෙන්නකි යි අපි දැනගත්තේ දැන් ම ය’ යි මෙසේ කියන බව සැබෑ ද?” “සැබෑ ය, භාග්‍යවතුන් වහන්ස.” භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ගැරහූ සේක -පෙ- “හිස් පුරුෂයෙනි, ඔබ කෙසේ නම් ප්රාතිමෝක්ෂය උදෙසන කල්හි ‘මේ ශික්ෂාපදය ද විනය ශික්ෂාවෙහි ආවකි, විනය ශික්ෂාවට ඇතුළත් වූවකි, අඩමසකට වරක් උදෙසීමට පැමිණෙන්නකි යි අපි දැනගත්තේ දැන් ම ය’ යි මෙසේ කියන්නහු ද? හිස් පුරුෂයෙනි, මෙය නොපැහැදුණු අයගේ පැහැදීම පිණිස හෝ නොවේ -පෙ- මහණෙනි, මේ ශික්ෂාපදය මෙසේ උදෙසිය යුතු ය (ප්‍රකාශ කළ යුතු ය):
“යම් භික්ෂුවක් අඩමසකට වරක් ප්රාතිමෝක්ෂය උදෙසන කල්හි ‘මේ ධර්මය ද විනයෙහි ආවකි, විනයට ඇතුළත් වූවකි, අඩමසකට වරක් උදෙසීමට පැමිණෙන්නකි යි මම දැනගත්තේ දැන් ම ය’ යි මෙසේ කියයි නම්, ඉදින් ඒ භික්ෂුව ගැන ‘ප්රාතිමෝක්ෂය උදෙසන කල්හි මේ භික්ෂුව දෙතුන් වරක් හිඳ ඇත්තේ ය’ යි අන් භික්ෂූන් දන්නේ නම්, ඊට වැඩි වාර ගැන කවර කතා ද? ඒ භික්ෂුවට නොදැනීම නිසා මිදීමක් නැත. එහි (ඒ නුසුදුසු හැසිරීමෙන්) යම් ඇවතකට පැමිණියේ නම්, ඒ ඇවත ගැන ධර්මයට අනුව (ඇවත දෙසවීම ආදිය) කරවිය යුතු ය. ඊට ඉහළින් ද, ‘ඇවැත්නි, ඔබ ප්රාතිමෝක්ෂය උදෙසන කල්හි එය මනා කොට වැදගත් කොට සලකා සිතට නොගන්නා බැවින්, එය ඔබට අලාභයකි, ඔබ ලද දෙය දුක් පිණිස ම ලද්දකි’ යි මෙසේ ඔහුට මෝහය ආරෝපණය කළ යුතු ය (මුළාවෙන් හැසිරෙන්නකු ලෙස සංඝයා විසින් නියම කළ යුතු ය). මුළා කරන ඔහුට මේ පාචිත්තිය ඇවැත වේ.”
3. යො පන යනු: යමෙක්, යම් ආකාර කෙනෙක් -පෙ- භික්ඛු යනු: -පෙ- මේ අර්ථයෙහි අදහස් කරන ලද භික්ෂුව මොහු ය.
අන්වද්ධමාසං යනු: පොහොය කිරීමක් (ප්රාතිමෝක්ෂය උදෙසීමක්) පාසා.
පාතිමොක්ඛෙ උද්දිස්සමානෙ යනු: උදෙසන කල්හි.
එවං වදෙය්ය යනු: ශික්ෂාපද ඉක්මවා නුසුදුසු ලෙස හැසිර, ‘ඇවැතට පැමිණියේ නොදැනීම නිසා ය’ යි අනුන් දැනගනිත්වා යි සිතා, ප්රාතිමෝක්ෂය උදෙසන කල්හි “මේ ධර්මය ද විනයෙහි ආවකි, විනයට ඇතුළත් වූවකි, අඩමසකට වරක් උදෙසීමට පැමිණෙන්නකි යි මම දැනගත්තේ දැන් ම ය” යි මෙසේ කියයි නම් දුක්කට ඇවැත් වේ.
4. තඤ්චෙ යනු: මුළා කරනු කැමති භික්ෂුව ගැන ‘ප්රාතිමෝක්ෂය උදෙසන කල්හි මේ භික්ෂුව දෙතුන් වරක් හිඳ ඇත්තේ ය’ යි අන් භික්ෂූන් දන්නේ නම්, ඊට වැඩි වාර ගැන කවර කතා ද? ඒ භික්ෂුවට නොදැනීම නිසා මිදීමක් නැත. එහි යම් ඇවතකට පැමිණියේ නම්, ඒ ඇවත ගැන ද ධර්මයට අනුව (ඇවත දෙසවීම ආදිය) කරවිය යුතු ය. ඊට ඉහළින් ද ඔහුට මෝහය ආරෝපණය කළ යුතු ය. මහණෙනි, මෙසේ ආරෝපණය කළ යුතු ය: දක්ෂ වූ, සමත් වූ භික්ෂුවක් විසින් සංඝයාට මෙසේ දැන්විය යුතු ය:
“ස්වාමීනි, සංඝයා මාගේ වචනය අසත්වා! මේ මෙනම් ඇති භික්ෂුව ප්රාතිමෝක්ෂය උදෙසන කල්හි එය මනා කොට වැදගත් කොට සලකා සිතට නොගනියි. ඉදින් සංඝයාට සුදුසු කාලය නම්, සංඝයා මෙනම් භික්ෂුවට මෝහය ආරෝපණය කරන්නේ ය. මෙය ඥප්තිය (දැන්වීම) යි.
ස්වාමීනි, සංඝයා මාගේ වචනය අසත්වා! මේ මෙනම් ඇති භික්ෂුව ප්රාතිමෝක්ෂය උදෙසන කල්හි එය මනා කොට වැදගත් කොට සලකා සිතට නොගනියි. සංඝයා මෙනම් භික්ෂුවට මෝහය ආරෝපණය කරයි. මෙනම් භික්ෂුවට මෝහය ආරෝපණය කිරීම යම් ආයුෂ්මතෙකුට කැමති නම්, හෙතෙම නිහඬ වේවා! යමෙකුට නොකැමති නම්, හෙතෙම කියාවා!
සංඝයා විසින් මෙනම් ඇති භික්ෂුවට මෝහය ආරෝපණය කරන ලදී. සංඝයාට කැමති ය. එහෙයින් නිහඬ ය. මෙය මෙසේ දරමි.”
මෝහය ආරෝපණය නොකළ කල්හි මුළා කරයි නම් දුක්කට ඇවැත් වේ. මෝහය ආරෝපණය කළ කල්හි මුළා කරයි නම් පාචිත්තිය ඇවැත් වේ.