6. 7. 7.
සංවිධාන ශික්ෂාපදය
1. ඒ කාලයෙහි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර අනේපිඬු සිටුතුමාගේ ජේතවන නම් ආරාමයෙහි වැඩ වාසය කරන සේක. එකල්හි එක්තරා භික්ෂුවක් කොසොල් ජනපදයෙහි සිට සැවැත් නුවරට යමින් එක්තරා ගමක දොරටුවක් පසු කර යයි. එක්තරා ස්ත්‍රියක් සැමියා සමඟ රණ්ඩු වී ගමෙන් පිට වී ඒ භික්ෂුව දැක මෙසේ කීවා ය: “ස්වාමීනි, ආර්යයන් වහන්සේ කොහි වඩින සේක් ද?” “නැගණිය, මම සැවැත් නුවරට යන්නෙමි.” “මම ද ආර්යයන් වහන්සේ සමඟ යන්නෙමි.” “එන්න නැගණිය.” එකල්හි ඒ ස්ත්‍රියගේ සැමියා ගමෙන් පිට වී “මිත්‍රවරුනි, මෙබඳු ස්ත්‍රියක් දුටුවහු ද?” යි මිනිසුන්ගෙන් ඇසුවේ ය. “ආර්යය, ඒ ස්ත්‍රිය පැවිද්දෙකු සමඟ යයි.” ඉක්බිති ඒ පුරුෂයා පසුපස ලුහුබැඳ ගොස් ඒ භික්ෂුව අල්ලාගෙන පහර දී මුදා හැරියේ ය. ඉක්බිති ඒ භික්ෂුව එක්තරා ගසක් මුල (තමාට ම) දොස් කියා ගනිමින් හිඳ ගත්තේ ය. එකල්හි ඒ ස්ත්‍රිය ඒ පුරුෂයාට මෙසේ කීවා ය: “ස්වාමිනි, ඒ භික්ෂුව මා රැගෙන ගියේ නැත, එසේ නොව මම ම ඒ භික්ෂුව සමඟ යමි. ඒ භික්ෂුව කිසි වරදක් නොකළේ ය. යන්න, ඒ භික්ෂුවගෙන් සමාව ගන්න.” එකල්හි ඒ පුරුෂයා ඒ භික්ෂුවගෙන් සමාව ගත්තේ ය.
2. ඉක්බිති ඒ භික්ෂුව සැවැත් නුවරට ගොස් මේ කරුණ භික්ෂූන්ට දැන්වී ය. යම් ඒ භික්ෂූහු අල්පේච්ඡ (ආශා අඩු) වූවෝ ද -පෙ- ඔවුහු අමනාප වෙති, දොස් කියති, අගුණ පතුරුවති: “කෙසේ නම් භික්ෂුවක් ස්ත්‍රියක් සමඟ කතා කරගෙන එක් ව එක ම දිගු ගමන් මාර්ගයකට පිළිපදින්නේ ද?” -පෙ- “මහණ, ඔබ ස්ත්‍රියක් සමඟ කතා කරගෙන එක් ව එක ම දිගු ගමන් මාර්ගයකට පිළිපන්නේ සැබෑ ද?” “සැබෑ ය, භාග්‍යවතුන් වහන්ස.” භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ගැරහූ සේක -පෙ- “හිස් පුරුෂය, කෙසේ නම් ඔබ ස්ත්‍රියක් සමඟ කතා කරගෙන එක් ව එක ම දිගු ගමන් මාර්ගයකට පිළිපදින්නෙහි ද? හිස් පුරුෂය, මෙය නොපැහැදුණු අයගේ පැහැදීම පිණිස හෝ නොවේ -පෙ- මහණෙනි, මේ ශික්ෂාපදය මෙසේ උදෙසිය යුතු ය (ප්‍රකාශ කළ යුතු ය):
“යම් භික්ෂුවක් ස්ත්‍රියක් සමඟ කතා කරගෙන එක් ව එක ම දිගු ගමන් මාර්ගයකට – අඩු තරමින් වෙනත් ගමකට වුව ද – පිළිපදී නම් පාචිත්තිය වේ.”
3. යො පන යනු: යම් කෙනෙක්, යම් ආකාරයක කෙනෙක් -පෙ- භික්ඛු යනු -පෙ- මේ අර්ථයෙහි අදහස් කරන ලද භික්ෂුව මොහු ය.
මාතුගාම නම්: මිනිස් ස්ත්‍රියකි. යක්ෂණියක් නොවේ. ප්‍රේතියක් නොවේ. තිරිසන් ගැහැණු සතෙක් නොවේ. හොඳින් කියූ දේ, නරකින් කියූ දේ, අසභ්‍ය වචන, අසභ්‍ය නොවන වචන තේරුම් ගැනීමට හැකි නුවණ ඇති අයෙකි.
සද්ධිං: එක් ව.
සංවිධාය: “යමු නැගණිය”, “යමු ආර්යය”, “යමු ආර්යය”, “යමු නැගණිය”, “අද හෝ හෙට හෝ අනිද්දා හෝ යමු” යි කතා කරගනී නම් දුක්කට ඇවැත් වේ.
අන්තමසෝ ගාමන්තරම්පි: කුකුළෙකුට පියාඹා යා හැකි තරම් ළඟින් ගම් පිහිටි ප්‍රදේශයෙහි නම් එක් එක් ගම අතර දුර පසු කරන විට පාචිත්තිය ඇවැත් වේ. ගම් නැති වනයෙහි නම් එක් එක් අඩ යොදුන පසු කරන විට පාචිත්තිය ඇවැත් වේ.
ස්ත්‍රියක් ගැන ස්ත්‍රියක් යැයි සිතන්නේ කතා කරගෙන එක් ව එක ම දිගු ගමන් මාර්ගයකට – අඩු තරමින් වෙනත් ගමකට වුව ද – පිළිපදී නම් පාචිත්තිය ඇවැත් වේ. ස්ත්‍රියක් ගැන සැක ඇත්තේ කතා කරගෙන එක් ව එක ම දිගු ගමන් මාර්ගයකට – අඩු තරමින් වෙනත් ගමකට වුව ද – පිළිපදී නම් පාචිත්තිය ඇවැත් වේ. ස්ත්‍රියක් ගැන ස්ත්‍රියක් නොවේ යැයි සිතන්නේ කතා කරගෙන එක් ව එක ම දිගු ගමන් මාර්ගයකට – අඩු තරමින් වෙනත් ගමකට වුව ද – පිළිපදී නම් පාචිත්තිය ඇවැත් වේ.
භික්ෂුව කතා කරගනී නම්, ස්ත්‍රිය කතා කර නොගනී නම් දුක්කට ඇවැත් වේ. යක්ෂණියක හෝ ප්‍රේතියක හෝ පණ්ඩකයෙකු (නපුංසකයෙකු) හෝ මිනිස් වෙස් ගත් තිරිසන් ගැහැණු සතෙකු හෝ සමඟ කතා කරගෙන එක් ව එක ම දිගු ගමන් මාර්ගයකට – අඩු තරමින් වෙනත් ගමකට වුව ද – පිළිපදී නම් දුක්කට ඇවැත් වේ.
ස්ත්‍රියක් නොවන කෙනෙකු ගැන ස්ත්‍රියක් යැයි සිතයි නම් දුක්කට ඇවැත් වේ. ස්ත්‍රියක් නොවන කෙනෙකු ගැන සැක ඇත්තේ නම් දුක්කට ඇවැත් වේ. ස්ත්‍රියක් නොවන කෙනෙකු ගැන ස්ත්‍රියක් නොවේ යැයි සිතයි නම් ඇවැත් නැත.
ඇවැත් නැත: කතා කර නොගෙන යයි නම්, ස්ත්‍රිය කතා කරගනී නම් භික්ෂුව කතා කර නොගනී නම්, කතා කරගත් වේලාව වෙනස් කොට (කාලවිසංකේතයෙන්) යයි නම් ඇවැත් නොවේ. අනතුරු ඇති විට ද, සිහි විකල් වූවෙකුට ද, මුලින්ම මේ වරද කළ තැනැත්තාට (ආදිකම්මිකයාට) ද ඇවැත් නැත.
හත්වැනි සංවිධාන ශික්ෂාපදය යි.