6. 7. 8.
අරිට්ඨ ශික්ෂාපදය
1. ඒ කාලයේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර අනේපිඬු සිටුතුමාගේ ජේතවන නම් ආරාමයෙහි වැඩ වසන සේක. එකල ගිජුලිහිණියන් මැරූ කුලයෙහි උපන් අරිට්ඨ නම් භික්ෂුවකට මෙවැනි ලාමක දෘෂ්ටියක් (වැරදි මතයක්) ඇති විය: “භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ ධර්මය මා තේරුම් ගන්නේ මෙසේ ය: භාග්‍යවතුන් වහන්සේ අන්තරාය කරන ධර්ම යැයි යම් ධර්ම වදාළ සේක් ද, ඒවා සේවනය කරන්නාට ඒවා අනතුරක් පිණිස සමත් නොවේ.” ගිජුලිහිණියන් මැරූ කුලයෙහි උපන් අරිට්ඨ නම් භික්ෂුවට, ‘භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ ධර්මය මා තේරුම් ගන්නේ මෙසේ ය: භාග්‍යවතුන් වහන්සේ අන්තරාය කරන ධර්ම යැයි යම් ධර්ම වදාළ සේක් ද, ඒවා සේවනය කරන්නාට ඒවා අනතුරක් පිණිස සමත් නොවේ’ යි මෙවැනි ලාමක දෘෂ්ටියක් ඇති වී ඇති බව බොහෝ භික්ෂූන් ඇසූහ.
2. ඉන්පසු ඒ භික්ෂූන් ගද්ධබාධිපුබ්බ (ගිජුලිහිණියන් මැරූ කුලයෙහි උපන්) අරිට්ඨ භික්ෂුව වෙත පැමිණියහ. පැමිණ ගද්ධබාධිපුබ්බ අරිට්ඨ භික්ෂුවට මෙසේ කීහ: “ඇවැත් අරිට්ඨයෙනි, ‘භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ ධර්මය මා තේරුම් ගන්නේ මෙසේ ය: භාග්‍යවතුන් වහන්සේ අන්තරාය කරන ධර්ම යැයි යම් ධර්ම වදාළ සේක් ද, ඒවා සේවනය කරන්නාට ඒවා අනතුරක් පිණිස සමත් නොවේ’ යි මෙවැනි ලාමක දෘෂ්ටියක් ඔබට ඇති වූයේ සැබෑ ද?” “ඇවැත්නි, භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ ධර්මය මම මෙසේ ම තේරුම් ගනිමි: භාග්‍යවතුන් වහන්සේ අන්තරාය කරන ධර්ම යැයි යම් ධර්ම වදාළ සේක් ද, ඒවා සේවනය කරන්නාට ඒවා අනතුරක් පිණිස සමත් නොවේ.” “ඇවැත් අරිට්ඨයෙනි, මෙසේ නොකියන්න. භාග්‍යවතුන් වහන්සේට නුගුණ නොකියන්න. භාග්‍යවතුන් වහන්සේට නුගුණ කීම යහපත් නොවේ. භාග්‍යවතුන් වහන්සේ මෙසේ නොවදාරන සේක. ඇවැත් අරිට්ඨයෙනි, භාග්‍යවතුන් වහන්සේ නොයෙක් ආකාරයෙන් අන්තරාය කරන ධර්ම අන්තරාය කරන ඒවා යැයි වදාළ සේක. තවද ඒවා සේවනය කරන්නාට ඒවා අනතුරක් පිණිස සමත් වන්නේ ම ය. ‘කාමයන්ගේ රසය (ආශ්වාදය) ස්වල්ප ය, ඒවා බොහෝ දුක් ඇත්තේ ය, බොහෝ දැඩි වෙහෙස ඇත්තේ ය, මෙහි ආදීනවය (දොස) බොහෝ ය’ යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. ‘කාමයෝ ඇටසැකිල්ලක් වැනි ය, බොහෝ දුක් ඇත්තේ ය, බොහෝ දැඩි වෙහෙස ඇත්තේ ය, මෙහි ආදීනවය බොහෝ ය’ යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. ‘කාමයෝ මස් වැදැල්ලක් (මස් කැබැල්ලක්) වැනි ය, බොහෝ දුක් ඇත්තේ ය, බොහෝ දැඩි වෙහෙස ඇත්තේ ය, මෙහි ආදීනවය බොහෝ ය’ යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. ‘කාමයෝ තණ හුලක් (ඇවිලෙන තණ පන්දමක්) වැනි ය, -පෙ-’ යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. ‘කාමයෝ ගිනි අඟුරු වළක් වැනි ය, -පෙ-’ යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. ‘කාමයෝ සිහිනයක් වැනි ය, -පෙ-’ යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. ‘කාමයෝ ඉල්ලාගත් බඩුවක් වැනි ය, -පෙ-’ යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. ‘කාමයෝ ගසක ගෙඩි වැනි ය, -පෙ-’ යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. ‘කාමයෝ අසිසූනාවක් (කඩුවෙන් මස් කපන කොටයක්) වැනි ය, -පෙ-’ යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. ‘කාමයෝ හෙල්ල උලක් වැනි ය, -පෙ-’ යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක. ‘කාමයෝ සර්පයකුගේ හිසක් වැනි ය, බොහෝ දුක් ඇත්තේ ය, බොහෝ දැඩි වෙහෙස ඇත්තේ ය, මෙහි ආදීනවය බොහෝ ය’ යි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.”
3. ඒ භික්ෂූන් මෙසේ කියද්දීත් ගද්ධබාධිපුබ්බ අරිට්ඨ භික්ෂුව ඒ ලාමක දෘෂ්ටිය එලෙසම දැඩි ලෙස අල්වාගෙන, එහි බැසගෙන මෙසේ කියයි: “ඇවැත්නි, භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ ධර්මය මම මෙසේ ම තේරුම් ගනිමි: භාග්‍යවතුන් වහන්සේ අන්තරාය කරන ධර්ම යැයි යම් ධර්ම වදාළ සේක් ද, ඒවා සේවනය කරන්නාට ඒවා අනතුරක් පිණිස සමත් නොවේ.” ගිජුලිහිණියන් මැරූ කුලයෙහි උපන් අරිට්ඨ භික්ෂුව මේ ලාමක දෘෂ්ටියෙන් වෙන් කරන්නට ඒ භික්ෂූන්ට නොහැකි වූ බැවින්, ඒ භික්ෂූන් භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණියහ. පැමිණ භාග්‍යවතුන් වහන්සේට මේ කරුණ දැන්වූහ.
4. ඉන්පසු භාග්‍යවතුන් වහන්සේ මේ කරුණෙහි, මේ අවස්ථාවෙහි භික්ෂු සංඝයා රැස් කරවා ගිජුලිහිණියන් මැරූ කුලයෙහි උපන් අරිට්ඨ භික්ෂුවගෙන් මෙසේ විචාළ සේක: “අරිට්ඨය, ‘භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ ධර්මය මා තේරුම් ගන්නේ මෙසේ ය: භාග්‍යවතුන් වහන්සේ අන්තරාය කරන ධර්ම යැයි යම් ධර්ම වදාළ සේක් ද, ඒවා සේවනය කරන්නාට ඒවා අනතුරක් පිණිස සමත් නොවේ’ යි මෙවැනි ලාමක දෘෂ්ටියක් ඔබට ඇති වූයේ සැබෑ ද?” “ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ ධර්මය මම මෙසේ ම තේරුම් ගනිමි: භාග්‍යවතුන් වහන්සේ අන්තරාය කරන ධර්ම යැයි යම් ධර්ම වදාළ සේක් ද, ඒවා සේවනය කරන්නාට ඒවා අනතුරක් පිණිස සමත් නොවේ.” “හිස් පුරුෂය, මා කවරෙකුට නම් ධර්මය එසේ දේශනා කළ බව ඔබ දන්නෙහි ද? හිස් පුරුෂය, මා විසින් නොයෙක් ආකාරයෙන් අන්තරාය කරන ධර්ම අන්තරාය කරන ඒවා යැයි කියන ලද්දේ නොවේ ද? තවද ඒවා සේවනය කරන්නාට ඒවා අනතුරක් පිණිස සමත් වන බව කියන ලද්දේ නොවේ ද? ‘කාමයන්ගේ රසය ස්වල්ප ය, ඒවා බොහෝ දුක් ඇත්තේ ය, බොහෝ දැඩි වෙහෙස ඇත්තේ ය, මෙහි ආදීනවය බොහෝ ය’ යි මා විසින් කියන ලදී. ‘කාමයෝ ඇටසැකිල්ලක් වැනි ය, බොහෝ දුක් ඇත්තේ ය, බොහෝ දැඩි වෙහෙස ඇත්තේ ය, මෙහි ආදීනවය බොහෝ ය’ යි මා විසින් කියන ලදී. ‘කාමයෝ මස් වැදැල්ලක් වැනි ය, -පෙ-’ යි මා විසින් කියන ලදී. ‘කාමයෝ තණ හුලක් වැනි ය, -පෙ-’ යි මා විසින් කියන ලදී. ‘කාමයෝ ගිනි අඟුරු වළක් වැනි ය, -පෙ-’ යි මා විසින් කියන ලදී. ‘කාමයෝ සිහිනයක් වැනි ය, -පෙ-’ යි මා විසින් කියන ලදී. ‘කාමයෝ ඉල්ලාගත් බඩුවක් වැනි ය, -පෙ-’ යි මා විසින් කියන ලදී. ‘කාමයෝ ගසක ගෙඩි වැනි ය, -පෙ-’ යි මා විසින් කියන ලදී. ‘කාමයෝ අසිසූනාවක් වැනි ය, -පෙ-’ යි මා විසින් කියන ලදී. ‘කාමයෝ හෙල්ල උලක් වැනි ය, -පෙ-’ යි මා විසින් කියන ලදී. ‘කාමයෝ සර්පයකුගේ හිසක් වැනි ය, බොහෝ දුක් ඇත්තේ ය, බොහෝ දැඩි වෙහෙස ඇත්තේ ය, මෙහි ආදීනවය බොහෝ ය’ යි මා විසින් කියන ලදී.