6. 6. 7.
නහාන ශික්ෂාපදය
1. ඒ කාලයේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ රජගහ නුවර කලන්දකනිවාප නම් වූ වේළුවනයෙහි වැඩ වසන සේක. එකල භික්ෂූන් වහන්සේලා තපෝදයෙහි (තපෝද නම් උණු දිය විලෙහි) ස්නානය කරති. එකල මගධ රජ වූ සේනිය බිම්බිසාර රජතුමා “හිස සෝදා නාන්නෙමි” යි තපෝදයට ගොස්, ආර්යයන් වහන්සේලා නා නිම වන තුරු බලාපොරොත්තුවෙන් එක් පැත්තක සිටියේ ය. භික්ෂූන් වහන්සේලා අඳුර වැටෙන තුරු ස්නානය කළහ. එකල මගධ රජ වූ සේනිය බිම්බිසාර රජතුමා කල් ඉක්ම ගිය වේලාවෙහි හිස සෝදා නා, නුවර දොරටු වසා තිබූ බැවින් නුවරින් පිටත නැවතී, උදෑසනම නොමැකුණු සුවඳ ආලේපනයෙන් යුතුව භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණියේ ය. පැමිණ බුදුරජාණන් වහන්සේට වැඳ එක් පැත්තක හිඳගත්තේ ය. එක් පැත්තක හුන් මගධ රජ වූ සේනිය බිම්බිසාර රජතුමාට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක: “මහරජ, ඔබ උදෑසනම නොමැකුණු සුවඳ ආලේපනයෙන් යුතුව පැමිණියේ කුමක් නිසා ද?” කියා. එකල මගධ රජ වූ සේනිය බිම්බිසාර රජතුමා භාග්‍යවතුන් වහන්සේට මේ කරුණ සැල කළේ ය.
2. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මගධ රජ වූ සේනිය බිම්බිසාර රජතුමාට ධර්ම කතාවෙන් මනාව කරුණු පෙන්වා දුන් සේක. මනාව කරුණු පිළිගැන්වූ සේක. මනාව උත්සාහවත් කළ සේක. මනාව සතුටු කළ සේක. එකල භාග්‍යවතුන් වහන්සේ විසින් ධර්ම කතාවෙන් මනාව කරුණු පෙන්වා දෙන ලද, මනාව කරුණු පිළිගන්වන ලද, මනාව උත්සාහවත් කරන ලද, මනාව සතුටු කරන ලද මගධ රජ වූ සේනිය බිම්බිසාර රජතුමා අසුනෙන් නැගිට භාග්‍යවතුන් වහන්සේට වැඳ, පැදකුණු කොට පිටත්ව ගියේ ය. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ කරුණෙහි, මේ අවස්ථාවෙහි භික්ෂු සංඝයා රැස් කරවා භික්ෂූන්ගෙන් මෙසේ විචාළ සේක: “මහණෙනි, භික්ෂූන් රජු දැක පවා ප්‍රමාණය නොදැන ස්නානය කරති යන්න සැබෑ ද?” “සැබෑ ය, භාග්‍යවතුන් වහන්ස.” භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ගැරහූ සේක -පෙ- “මහණෙනි, ඒ හිස් පුරුෂයෝ රජු දැක පවා ප්‍රමාණය නොදැන කෙසේ නම් ස්නානය කරත් ද? මහණෙනි, මෙය නොපැහැදුණු අයගේ පැහැදීම පිණිස හෝ නොවෙයි -පෙ- මහණෙනි, මේ ශික්ෂාපදය මෙසේ උදෙසිය යුතු ය (ප්‍රකාශ කළ යුතු ය):
යම් භික්ෂුවක් නෑ දින සිට අඩ මසක් පිරෙන්නට පෙර නාන්නේ නම් පාචිත්තිය ඇවැත් වේ.
මෙසේ භාග්‍යවතුන් වහන්සේ විසින් භික්ෂූන්ට මේ ශික්ෂාපදය පනවන ලද්දේ වෙයි.
3. ඒ කාලයේ භික්ෂූන් වහන්සේලා උෂ්ණ කාලයෙහි, දැවිලි සහිත කාලයෙහි (වරදක් වේ දෝ යි) සැක කරමින් ස්නානය නොකරති. දහඩියෙන් තෙත් වූ ශරීරයෙන් යුතුව නිදති. සිවුර ද සෙනසුන ද කිලිටි වෙයි. භාග්‍යවතුන් වහන්සේට මේ කරුණ සැල කළහ -පෙ- “මහණෙනි, උෂ්ණ කාලයෙහි, දැවිලි සහිත කාලයෙහි අඩ මසක් ඇතුළත නාන්නට අනුමත කරමි.” මහණෙනි, මේ ශික්ෂාපදය මෙසේ ද උදෙසිය යුතු ය (ප්‍රකාශ කළ යුතු ය):
යම් භික්ෂුවක් සුදුසු කාලය හැර අඩ මසක් ඇතුළත නාන්නේ නම් පාචිත්තිය ඇවැත් වේ. එහි සුදුසු කාලය මෙයයි: ග්‍රීෂ්ම මාසවලින් ඉතිරි වූ මාසයහමාර ද, වැසි කාලයේ පළමු මාසය ද යන මේ මාස දෙකහමාර උෂ්ණ කාලය යි, දැවිලි සහිත කාලය යි. මෙය එහි සුදුසු කාලය යි.
මෙසේ ද භාග්‍යවතුන් වහන්සේ විසින් භික්ෂූන්ට මේ ශික්ෂාපදය පනවන ලද්දේ වෙයි.