6. 6. 8.
දුබ්බණ්ණකරණ ශික්ෂාපදය
1. ඒ කාලයේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර ජේතවනය නම් වූ අනේපිඬු සිටුතුමාගේ ආරාමයෙහි වැඩ වසන සේක. ඒ කාලයේ බොහෝ භික්ෂූන් වහන්සේලා ද පරිබ්‍රාජකයෝ ද සාකේත නුවර සිට සැවැත්නුවරට යන දිගු ගමනක යෙදී සිටියහ. අතර මඟදී සොරු එළියට පැන ඔවුන්ගේ බඩු පැහැර ගත්හ. සැවැත්නුවරින් නික්ම ගිය රාජපුරුෂයෝ බඩු සහිතව ඒ සොරුන් අල්ලා ගෙන භික්ෂූන් වෙත දූතයෙකු යැවූහ: “පින්වතුන් වහන්සේලා වඩින සේක්වා! තමන් තමන්ගේ සිවුරු හඳුනාගෙන ගන්නා සේක්වා!” භික්ෂූන් වහන්සේලා තම සිවුරු හඳුනා නොගනිති. ඒ මිනිස්සු කලකිරී හෙළා දකිති, නුගුණ කියති, දොස් පතුරුවති: “කෙසේ නම් පින්වතුන් වහන්සේලා තමන් තමන්ගේ සිවුරු හඳුනා නොගන්නාහු ද?” කලකිරී හෙළා දකින, නුගුණ කියන, දොස් පතුරුවන ඒ මිනිසුන්ගේ කතාව භික්ෂූන් වහන්සේලාට ඇසුණි. එවිට ඒ භික්ෂූන් වහන්සේලා භාග්‍යවතුන් වහන්සේට මේ කරුණ සැල කළහ.
2. එකල්හි භාග්‍යවතුන් වහන්සේ මේ කරුණෙහිදී, මේ අවස්ථාවෙහිදී භික්ෂු සංඝයා රැස් කරවා, භික්ෂූන්ට ඊට ගැළපෙන, ඊට අනුකූල වූ ධර්ම කතාවක් කොට භික්ෂූන් ඇමතූ සේක: “එසේ නම් මහණෙනි, කරුණු දහයක් නිසා භික්ෂූන්ට ශික්ෂාපදයක් පනවන්නෙමි. එනම්: සංඝයා මැනවැයි පිළිගැනීම පිණිස, සංඝයාගේ පහසුව පිණිස -පෙ- සද්ධර්මය බොහෝ කල් පැවතීම පිණිස, විනයට අනුග්‍රහ කිරීම පිණිස ය. මහණෙනි, මේ ශික්ෂාපදය මෙසේ උදෙසිය යුතු ය (ප්‍රකාශ කළ යුතු ය):
“අලුත් සිවුරක් ලැබූ භික්ෂුව විසින් නිල් හෝ මඩ පැහැය හෝ කළු හෝ යන සිවුරේ පැහැය අවලක්ෂණ කරන ක්‍රම තුනෙන් (දුබ්බණ්ණකරණ) එකක් යෙදිය යුතු ය. ඉදින් භික්ෂුවක් පැහැය අවලක්ෂණ කරන ක්‍රම තුනෙන් එකක් නොයොදා අලුත් සිවුරක් පරිහරණය කරයි නම් පාචිත්තිය ඇවැත් වේ.”
3. නව නම්: කප්බිඳුව (පැහැය අවලක්ෂණ කිරීමට සිවුරේ තබන ලකුණ) නොතැබූ සිවුර යැයි කියනු ලැබේ.
චීවර නම්: සිවුරු වර්ග හයෙන් එක්තරා සිවුරකි.
තිණ්ණං දුබ්බණ්ණකරණානං අඤ්ඤතරං දුබ්බණ්ණකරණං ආදාතබ්බං යනු අඩුම තරමින් කුස තණ අගකින් හෝ කප්බිඳුව තැබිය යුතු බව යි.
නීල නම්: කංසනීල (සම් කර්මාන්තකරුවන් යොදන නිල් පැහැය; මහාපච්චරිය අටුවාවට අනුව යකඩ මලකඩ, ලෝහ මලකඩ) ද, පලාසනීල (යම් කිසි නිල් පැහැති කොළ යුෂයක්) ද යන නිල් පැහැ දෙකකි.
කද්දම නම්: වතුර සහිත මඩ යැයි කියනු ලැබේ.
කාළසාම නම්: යම් කිසි කළු පැහැයකි.
අනාදා චෙ භික්ඛු තිණ්ණං දුබ්බණ්ණකරණානං අඤ්ඤතරං දුබ්බණ්ණකරණං යනු අඩුම තරමින් කුස තණ අගකින් හෝ පැහැය අවලක්ෂණ කරන ක්‍රම තුනෙන් එකක් නොයොදා අලුත් සිවුරක් පරිහරණය කරයි නම් පාචිත්තිය ඇවැත් වේ.
කප්බිඳුව නොතැබූ විට, නොතැබූ බව හඟිමින් පරිහරණය කරයි නම් පාචිත්තිය ඇවැත් වේ. කප්බිඳුව නොතැබූ විට, සැක ඇතිව පරිහරණය කරයි නම් පාචිත්තිය ඇවැත් වේ. කප්බිඳුව නොතැබූ විට, තැබූ බව හඟිමින් පරිහරණය කරයි නම් පාචිත්තිය ඇවැත් වේ. කප්බිඳුව තැබූ විට, නොතැබූ බව හඟියි නම් දුක්කට ඇවැත් වේ. කප්බිඳුව තැබූ විට, සැක ඇත්තේ නම් දුක්කට ඇවැත් වේ. කප්බිඳුව තැබූ විට, තැබූ බව හඟියි නම් ඇවැත් නැත.
ඇවැත් නැත: කප්බිඳුව තබා පරිහරණය කරයි නම්, කප්බිඳුව මැකී ගියේ නම්, කප්බිඳුව තැබූ තැන දිරා ගියේ නම්, කප්බිඳුව තැබූ රෙද්දක් සමඟ කප්බිඳුව නොතැබූ රෙද්දක් එකට මසා තිබේ නම් ඇවැත් නැත. අණ්ඩයක් ලෙස එකතු කළ රෙදි කැබැල්ලෙහි (අග්ගල) ද, සිවුරේ දිගට මසන දාර පටියෙහි (අනුවාත) ද, හරහට මසන දාර පටියෙහි (පරිභණ්ඩ) ද ඇවැත් නැත. සිහි විකල් වූවෙකුට ද, මුලින්ම මේ වරද කළ තැනැත්තාට (ආදිකම්මිකයාට) ද ඇවැත් නැත.
අටවැනි දුබ්බණ්ණකරණ ශික්ෂාපදය යි.