6. 6. 6.
ජෝති ශික්ෂාපදය
1. ඒ කාලයෙහි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ භග්ග ජනපදයෙහි සුංසුමාරගිරි නම් නුවර, මිගදාය (මුවන්ට සැපසේ වාසය කිරීම පිණිස දුන් නිසා මිගදාය යැයි කියන) නම් වූ භේසකලා වනයෙහි වැඩ වසන සේක. එකල භික්ෂූන් වහන්සේලා හේමන්ත (සීත) කාලයෙහි කුහරයක් ඇති එක්තරා විශාල දර කොටයකට ගිනි දල්වා ගිනි තැපූහ. ඒ කුහරයෙහි සිටි කළු සර්පයෙක් ගින්නෙන් තැවී පිටතට පැමිණ භික්ෂූන් ලුහුබැන්දේ ය. භික්ෂූන් වහන්සේලා ඒ ඒ තැනට දිව ගියහ. අල්පේච්ඡ (ආශා අඩු) යම් භික්ෂූන් වහන්සේලා වූවාහු ද -පෙ- ඔවුහු “කෙසේ නම් භික්ෂූන් ගිනි දල්වා ගිනි තපින්නාහු දැ?” යි හෙළා දකිති, නුගුණ කියති, දොස් පතුරුවති. -පෙ- “මහණෙනි, භික්ෂූන් ගිනි දල්වා ගිනි තපින බව සැබෑ ද?” “සැබෑ ය, භාග්‍යවතුන් වහන්ස.” භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ගැරහූ සේක. -පෙ- “මහණෙනි, කෙසේ නම් ඒ හිස් පුරුෂයෝ ගිනි දල්වා ගිනි තපින්නාහු ද? මහණෙනි, මෙය නොපැහැදුණු අයගේ පැහැදීම පිණිස හෝ නොවේ. -පෙ- මහණෙනි, මේ ශික්ෂාපදය මෙසේ උදෙසිය යුතු ය (ප්‍රකාශ කළ යුතු ය):
යම් භික්ෂුවක් ගිනි තපිනු කැමතිව ගිනි දල්වයි නම් හෝ දල්වවයි නම් හෝ, ඔහුට පාචිත්තිය ඇවැත් වේ.
මෙසේ භාග්‍යවතුන් වහන්සේ විසින් භික්ෂූන්ට මේ ශික්ෂාපදය පනවන ලද්දේ වේ.
2. ඒ කාලයෙහි භික්ෂූන් වහන්සේලා ගිලන් වූහ. ගිලනුන්ගේ සුවදුක් විමසන භික්ෂූන් ගිලන් භික්ෂූන්ට මෙසේ කීහ: “ඇවැත්නි, කිම, ඉවසිය හැකි ද? කිම, යැපිය හැකි ද?” “ඇවැත්නි, පෙර අපි ගිනි දල්වා ගිනි තැපුවෙමු. එයින් අපට පහසුවක් වූයේ ය. දැන් වනාහි භාග්‍යවතුන් වහන්සේ එය තහනම් කර ඇතැයි වරදක් දැයි සැක කරමින් ගිනි නොතපිමු. එයින් අපට පහසුවක් නොවේ.” ඔවුහු මේ කරුණ භාග්‍යවතුන් වහන්සේට දැන්වූහ. -පෙ- “මහණෙනි, ගිලන් භික්ෂුවකට ගිනි දල්වා හෝ දල්වවා හෝ ගිනි තපින්නට අනුමත කරමි.”
මහණෙනි, මේ ශික්ෂාපදය මෙසේ උදෙසිය යුතු ය (ප්‍රකාශ කළ යුතු ය):
යම් භික්ෂුවක් ගිලන් නොවී සිටිමින් ගිනි තපිනු කැමතිව ගිනි දල්වයි නම් හෝ දල්වවයි නම් හෝ, ඔහුට පාචිත්තිය ඇවැත් වේ.
මෙසේ භාග්‍යවතුන් වහන්සේ විසින් භික්ෂූන්ට මේ ශික්ෂාපදය පනවන ලද්දේ වේ.
3. ඒ කාලයෙහි භික්ෂූන් වහන්සේලා පහන් දැල්වීමෙහි ද, (පාත්‍ර පිසීම, දහඩිය දැමීම ආදිය සඳහා) ගිනි දැල්වීමෙහි ද, ගිනිහල් ගෙයි (ජන්තාඝරයෙහි) ගිනි දැල්වීමෙහි ද වරදක් දැයි සැක කළහ. ඔවුහු මේ කරුණ භාග්‍යවතුන් වහන්සේට දැන්වූහ. -පෙ- “මහණෙනි, එබඳු කරුණක් ඇති කල්හි ගිනි දල්වන්නට හා දල්වවන්නට අනුමත කරමි.” තවද මහණෙනි, මේ ශික්ෂාපදය මෙසේ උදෙසිය යුතු ය (ප්‍රකාශ කළ යුතු ය):
යම් භික්ෂුවක් ගිලන් නොවී සිටිමින්, (පහන් දැල්වීම ආදී) එබඳු කරුණක් හැර, ගිනි තපිනු කැමතිව ගිනි දල්වයි නම් හෝ දල්වවයි නම් හෝ, ඔහුට පාචිත්තිය ඇවැත් වේ.
4. යො පන: යමෙක්, යම් ආකාරයක -පෙ- භික්ඛු -පෙ- මේ අර්ථයෙහි අදහස් කරන ලද භික්ෂුව මොහු ය.
අගිලාන (ගිලන් නොවූ) නම්: යමෙකුට ගින්නෙන් තොරව පහසුවක් ඇත්නම් ඔහු ය.
ගිලාන (ගිලන්) නම්: යමෙකුට ගින්නෙන් තොරව පහසුවක් නැත්නම් ඔහු ය.
විසිබ්බනාපෙඛො: ගිනි තපිනු කැමැත්තේ.
ජෝති නම්: ගින්නට කියනු ලැබේ.
සමාදහෙය්‍ය: තමා ම ගිනි දල්වයි නම් පාචිත්තිය ඇවැත් වේ.
සමාදහාපෙය්‍ය: අනෙකෙකුට අණ කරයි නම් පාචිත්තිය ඇවැත් වේ. එක් වරක් අණ කරනු ලැබූ තැනැත්තා බොහෝ වර ගිනි දැල්වුවත් පාචිත්තිය ඇවැත් වේ.
අඤ්ඤත්‍ර තථාරූපප්පච්චයා: එබඳු කරුණක් හැර.