6. 6. 5.
භිංසාපනක ශික්ෂාපදය
1. ඒ කාලයෙහි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර අනේපිඬු සිටුතුමාගේ ආරාමය වූ ජේතවනයෙහි වැඩ වසන සේක. එකල ෂඩ්වර්ගික (සය දෙනෙකුගෙන් යුත් කණ්ඩායමේ) භික්ෂූන් සතළොස්වග (දාහත් දෙනෙකුගෙන් යුත් කණ්ඩායමේ) භික්ෂූන් බිය ගන්වති. ඔවුහු බිය ගන්වනු ලැබ හඬති. භික්ෂූන් වහන්සේලා මෙසේ කීහ: “ඇවැත්නි, ඔබ හඬන්නේ කුමක් නිසා ද?” “ඇවැත්නි, මේ ෂඩ්වර්ගික භික්ෂූන් අප බිය ගන්වති.” අල්පේච්ඡ (ආශා අඩු) යම් භික්ෂූන් වහන්සේලා වූවාහු ද -පෙ- ඔවුහු “කෙසේ නම් ෂඩ්වර්ගික භික්ෂූන් භික්ෂුවක් බිය ගන්වන්නාහු දැ?” යි හෙළා දකිති, නුගුණ කියති, දොස් පතුරුවති. -පෙ- “මහණෙනි, ඔබ භික්ෂුවක් බිය ගන්වන බව සැබෑ ද?” “සැබෑ ය, භාග්‍යවතුන් වහන්ස.” භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ගැරහූ සේක. -පෙ- “හිස් පුරුෂයෙනි, කෙසේ නම් ඔබ භික්ෂුවක් බිය ගන්වන්නහු ද? හිස් පුරුෂයෙනි, මෙය නොපැහැදුණු අයගේ පැහැදීම පිණිස හෝ නොවේ. -පෙ- මහණෙනි, මේ ශික්ෂාපදය මෙසේ උදෙසිය යුතු ය (ප්‍රකාශ කළ යුතු ය):
යම් භික්ෂුවක් භික්ෂුවක් බිය ගන්වයි නම්, ඔහුට පාචිත්තිය ඇවැත් වේ.
2. යො පන: යමෙක්, යම් ආකාරයක -පෙ- භික්ඛු -පෙ- මේ අර්ථයෙහි අදහස් කරන ලද භික්ෂුව මොහු ය. භික්ඛුං: අන් භික්ෂුවක්.
භිංසාපෙය්‍ය: උපසම්පදාව ලැබූ භික්ෂුවක්, උපසම්පදාව ලැබූ භික්ෂුවක් බිය ගන්වනු කැමතිව රූපයක් හෝ ශබ්දයක් හෝ ගන්ධයක් හෝ රසයක් හෝ පහසක් (ස්පර්ශයක්) හෝ ඔහු වෙත ගෙන එයි. ඔහු බිය වුවත් බිය නොවුවත් පාචිත්තිය ඇවැත් වේ. සොරුන් ඇති කාන්තාරයක් ගැන හෝ නපුරු සතුන් ඇති කාන්තාරයක් ගැන හෝ අමනුෂ්‍යයන් ඇති කාන්තාරයක් ගැන හෝ කියයි. ඔහු බිය වුවත් බිය නොවුවත් පාචිත්තිය ඇවැත් වේ.
උපසම්පදාව ලැබූ කෙනෙකු කෙරෙහි උපසම්පදාව ලැබූ කෙනෙකු යන හැඟීම ඇතිව බිය ගන්වයි නම් පාචිත්තිය ඇවැත් වේ. උපසම්පදාව ලැබූ කෙනෙකු කෙරෙහි සැකයෙන් යුතුව බිය ගන්වයි නම් පාචිත්තිය ඇවැත් වේ. උපසම්පදාව ලැබූ කෙනෙකු කෙරෙහි උපසම්පදාව නොලැබූ කෙනෙකු යන හැඟීම ඇතිව බිය ගන්වයි නම් පාචිත්තිය ඇවැත් වේ.
උපසම්පදාව නොලැබූ කෙනෙකු බිය ගන්වනු කැමතිව රූපයක් හෝ ශබ්දයක් හෝ ගන්ධයක් හෝ රසයක් හෝ පහසක් හෝ ඔහු වෙත ගෙන එයි. ඔහු බිය වුවත් බිය නොවුවත් දුක්කට ඇවැත් වේ. සොරුන් ඇති කාන්තාරයක් ගැන හෝ නපුරු සතුන් ඇති කාන්තාරයක් ගැන හෝ අමනුෂ්‍යයන් ඇති කාන්තාරයක් ගැන හෝ කියයි නම්, ඔහු බිය වුවත් බිය නොවුවත් දුක්කට ඇවැත් වේ.
උපසම්පදාව නොලැබූ කෙනෙකු කෙරෙහි උපසම්පදාව ලැබූ කෙනෙකු යන හැඟීම ඇත්තේ නම් දුක්කට ඇවැත් වේ. උපසම්පදාව නොලැබූ කෙනෙකු කෙරෙහි සැකයෙන් යුතු නම් දුක්කට ඇවැත් වේ. උපසම්පදාව නොලැබූ කෙනෙකු කෙරෙහි උපසම්පදාව නොලැබූ කෙනෙකු යන හැඟීම ඇත්තේ නම් දුක්කට ඇවැත් වේ.
6. ඇවැත් නැත: බිය ගන්වනු නොකැමතිව රූපයක් හෝ ශබ්දයක් හෝ ගන්ධයක් හෝ රසයක් හෝ පහසක් හෝ ගෙන ආවේ නම්, සොරුන් ඇති කාන්තාරයක් ගැන හෝ නපුරු සතුන් ඇති කාන්තාරයක් ගැන හෝ අමනුෂ්‍යයන් ඇති කාන්තාරයක් ගැන හෝ කීවේ නම් ඇවැත් නොවේ. සිහි විකල් වූවෙකුට ද, මුලින්ම මේ වරද කළ තැනැත්තාට (ආදිකම්මිකයාට) ද ඇවැත් නැත.
පස්වැනි භිංසාපනක ශික්ෂාපදය යි.
6. 6. 6.
ජෝති ශික්ෂාපදය
1. ඒ කාලයෙහි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ භග්ග ජනපදයෙහි සුංසුමාරගිරි නම් නුවර, මිගදාය (මුවන්ට සැපසේ වාසය කිරීම පිණිස දුන් නිසා මිගදාය යැයි කියන) නම් වූ භේසකලා වනයෙහි වැඩ වසන සේක. එකල භික්ෂූන් වහන්සේලා හේමන්ත (සීත) කාලයෙහි කුහරයක් ඇති එක්තරා විශාල දර කොටයකට ගිනි දල්වා ගිනි තැපූහ. ඒ කුහරයෙහි සිටි කළු සර්පයෙක් ගින්නෙන් තැවී පිටතට පැමිණ භික්ෂූන් ලුහුබැන්දේ ය. භික්ෂූන් වහන්සේලා ඒ ඒ තැනට දිව ගියහ. අල්පේච්ඡ (ආශා අඩු) යම් භික්ෂූන් වහන්සේලා වූවාහු ද -පෙ- ඔවුහු “කෙසේ නම් භික්ෂූන් ගිනි දල්වා ගිනි තපින්නාහු දැ?” යි හෙළා දකිති, නුගුණ කියති, දොස් පතුරුවති. -පෙ- “මහණෙනි, භික්ෂූන් ගිනි දල්වා ගිනි තපින බව සැබෑ ද?” “සැබෑ ය, භාග්‍යවතුන් වහන්ස.” භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ගැරහූ සේක. -පෙ- “මහණෙනි, කෙසේ නම් ඒ හිස් පුරුෂයෝ ගිනි දල්වා ගිනි තපින්නාහු ද? මහණෙනි, මෙය නොපැහැදුණු අයගේ පැහැදීම පිණිස හෝ නොවේ. -පෙ- මහණෙනි, මේ ශික්ෂාපදය මෙසේ උදෙසිය යුතු ය (ප්‍රකාශ කළ යුතු ය):
යම් භික්ෂුවක් ගිනි තපිනු කැමතිව ගිනි දල්වයි නම් හෝ දල්වවයි නම් හෝ, ඔහුට පාචිත්තිය ඇවැත් වේ.
මෙසේ භාග්‍යවතුන් වහන්සේ විසින් භික්ෂූන්ට මේ ශික්ෂාපදය පනවන ලද්දේ වේ.