6. 6. 4.
අනාදරිය ශික්ෂාපදය
1. ඒ කාලයෙහි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ කොසඹෑ නුවර ඝෝෂිතාරාමයෙහි වැඩ වසන සේක. එකල ආයුෂ්මත් ඡන්න ස්ථවිරයන් ශික්ෂාපද ඉක්මවා නුසුදුසු ලෙස හැසිරෙයි. භික්ෂූන් වහන්සේලා මෙසේ කීහ: “ඇවැත් ඡන්නයෙනි, මෙබඳු දෙයක් නොකරන්න, මෙය නොකැප ය (නොසුදුසු ය).” ඔහු අනාදරයෙන් (නොසලකා හැරීමෙන්) එය කරයි ම ය. අල්පේච්ඡ (ආශා අඩු) යම් භික්ෂූන් වහන්සේලා වූවාහු ද -පෙ- ඔවුහු “කෙසේ නම් ආයුෂ්මත් ඡන්න ස්ථවිරයන් අනාදරය කරන්නේ දැ?” යි හෙළා දකිති, නුගුණ කියති, දොස් පතුරුවති. -පෙ- “ඡන්නය, ඔබ අනාදරය කරන බව සැබෑ ද?” “සැබෑ ය, භාග්‍යවතුන් වහන්ස.” භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ගැරහූ සේක. -පෙ- “හිස් පුරුෂය, කෙසේ නම් ඔබ අනාදරය කරන්නෙහි ද? හිස් පුරුෂය, මෙය නොපැහැදුණු අයගේ පැහැදීම පිණිස හෝ නොවේ. -පෙ- මහණෙනි, මේ ශික්ෂාපදය මෙසේ උදෙසිය යුතු ය (ප්‍රකාශ කළ යුතු ය):
අනාදරය කිරීමෙහි පාචිත්තිය වේ.
2. අනාදරිය නම්: අනාදරිය දෙකකි: පුද්ගලානාදරිය (පුද්ගලයා කෙරෙහි අනාදරය) ද, ධර්මානාදරිය (ධර්මය කෙරෙහි අනාදරය) ද යනුයි.
පුද්ගලානාදරිය නම්: උපසම්පදා වූ භික්ෂුවක් විසින්, (බුදුරජාණන් වහන්සේ) පනවා ඇති ශික්ෂාපදයක් අනුව කරුණක් කියනු ලබන භික්ෂුව “මොහු උක්ඛිත්තයෙක් (සංඝයා විසින් ඉවත් කොට තැබූ කෙනෙක්) හෝ අවමන් ලද්දෙක් හෝ ගැරහුම් ලද්දෙක් හෝ වෙයි. මොහුගේ වචනය නොකළ යුතු ය” යි අනාදරය කරයි නම් පාචිත්තිය ඇවැත් වේ.
ධර්මානාදරිය නම්: උපසම්පදා වූ භික්ෂුවක් විසින්, (බුදුරජාණන් වහන්සේ) පනවා ඇති ශික්ෂාපදයක් අනුව කරුණක් කියනු ලබන භික්ෂුව “මේ ධර්මය (ධර්ම පරම්පරාව) කෙසේ නම් නැසී යයි ද, වැනසී යයි ද, අතුරුදන් වී යයි ද?” යි කියමින් හෝ, ඒ පනවන ලද ශික්‍ෂාපදයෙහි හික්මෙන්නට නොකැමැති ව හෝ අනාදරය කරයි නම් පාචිත්තිය ඇවැත් වේ.
උපසම්පදා වූ භික්ෂුවක් කෙරෙහි උපසම්පදා වූවෙකු යැයි හඳුනාගෙන අනාදරය කරයි නම් පාචිත්තිය ඇවැත් වේ. උපසම්පදා වූ භික්ෂුවක් කෙරෙහි සැක ඇති ව අනාදරය කරයි නම් පාචිත්තිය ඇවැත් වේ. උපසම්පදා වූ භික්ෂුවක් කෙරෙහි උපසම්පදා නොවූවෙකු යැයි හඳුනාගෙන අනාදරය කරයි නම් පාචිත්තිය ඇවැත් වේ.
උපසම්පදා වූ භික්ෂුවක් විසින්, ශික්ෂාපදයක් ලෙස පනවා නැති කරුණක් (සූත්‍රයෙහි හෝ අභිධර්මයෙහි හෝ එන කරුණක්) අනුව කියනු ලබන භික්ෂුව “මෙය සල්ලේඛ පැවැත්මට (කෙලෙස් තුනී කරන පැවැත්මට), කෙලෙස් සිඳීමට, පැහැදීම ඇති කිරීමට, නිවනට, වීරිය ඇරඹීමට හේතු නොවේ” යි අනාදරය කරයි නම් දුක්කට ඇවැත් වේ.
උපසම්පදා නොවූ කෙනෙකු විසින්, ශික්ෂාපදයක් ලෙස පනවා ඇති කරුණක් හෝ පනවා නැති කරුණක් හෝ අනුව කියනු ලබන භික්ෂුව “මෙය සල්ලේඛ පැවැත්මට, කෙලෙස් සිඳීමට, පැහැදීම ඇති කිරීමට, නිවනට, වීරිය ඇරඹීමට හේතු නොවේ” යි අනාදරය කරයි නම් දුක්කට ඇවැත් වේ.
උපසම්පදා නොවූ කෙනෙකු කෙරෙහි උපසම්පදා වූවෙකු යැයි හඳුනාගනී නම් දුක්කට ඇවැත් වේ. උපසම්පදා නොවූ කෙනෙකු කෙරෙහි සැක ඇත්තේ නම් දුක්කට ඇවැත් වේ. උපසම්පදා නොවූ කෙනෙකු කෙරෙහි උපසම්පදා නොවූවෙකු යැයි හඳුනාගනී නම් දුක්කට ඇවැත් වේ.
ඇවැත් නැත: “අපගේ ආචාර්යවරුන්ගේ උගැන්වීම ද අර්ථ විස්තරය ද මෙසේ ය” යි කියයි නම් ඇවැත් නැත. සිහි විකල් වූවෙකුට ද, මුලින්ම මේ වරද කළ තැනැත්තාට (ආදිකම්මිකයාට) ද ඇවැත් නැත.
සිව්වැනි අනාදරිය ශික්ෂාපදය යි.