6. 5. 4.
පඨම රහෝනිසජ්ජ ශික්ෂාපදය (රහසිගත තැනක හිඳීම පිළිබඳ පළමු ශික්ෂාපදය)
1. එසමයෙහි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර අනේපිඬු සිටුතුමාගේ ජේතවන නම් ආරාමයෙහි වැඩ වසන සේක. එකල ආයුෂ්මත් උපනන්ද ශාක්‍යපුත්‍ර තෙමේ යහළුවකුගේ නිවසට ගොස් ඔහුගේ බිරිඳ සමඟ රහසිගතව, වැසී ඇති අසුනක හිඳ ගත්තේ ය. එවිට ඒ පුරුෂයා හෙළා දකියි, නුගුණ කියයි, දොස් පතුරුවයි: “ආර්ය උපනන්ද කෙසේ නම් මාගේ බිරිඳ සමඟ රහසිගතව, වැසී ඇති අසුනක හිඳ ගන්නේ ද?”
2. හෙළා දකින, නුගුණ කියන, දොස් පතුරුවන ඒ පුරුෂයාගේ (අපකීර්ති කතාව) භික්ෂූන් වහන්සේලා ඇසූහ. යම් ඒ භික්ෂූන් වහන්සේලා අල්පේච්ඡ (ආශා අඩු) වූවෝ ද -පෙ- ඔවුහු හෙළා දකිති, නුගුණ කියති, දොස් පතුරුවති: “ආයුෂ්මත් උපනන්ද ශාක්‍යපුත්‍ර කෙසේ නම් කාන්තාවක සමඟ රහසිගතව, වැසී ඇති අසුනක හිඳ ගන්නේ ද?” -පෙ- “උපනන්දය, ඔබ කාන්තාවක සමඟ රහසිගතව, වැසී ඇති අසුනක හිඳ ගත් බව සැබෑ ද?” “සැබෑ ය, භාග්‍යවතුන් වහන්ස.” භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ගැරහූ සේක. -පෙ- “හිස් පුරුෂය, ඔබ කෙසේ නම් කාන්තාවක සමඟ රහසිගතව, වැසී ඇති අසුනක හිඳ ගන්නෙහි ද? හිස් පුරුෂය, මෙය නොපැහැදුණු අයගේ පැහැදීම පිණිස හෝ නොවේ. -පෙ- මහණෙනි, මේ ශික්ෂාපදය මෙසේ උදෙසිය යුතු ය (ප්‍රකාශ කළ යුතු ය):
යම් භික්ෂුවක් කාන්තාවක සමඟ රහසිගතව, වැසී ඇති අසුනක හිඳ ගනී නම් පාචිත්තිය ඇවැත් වේ.
3. යො පන: යම් කෙනෙක්, යම් ආකාර කෙනෙක් -පෙ- භික්ඛු: -පෙ- මේ අර්ථයෙහි අදහස් කරන ලද භික්ෂුව මොහු ය.
මාතුගාම (කාන්තාව) නම්: මිනිස් කාන්තාවයි. යකින්නියක් නොවේ, ප්‍රේතියක් නොවේ, තිරිසන් ගැහැනු සතෙක් නොවේ. අඩුම තරමින් එදින උපන් දැරියක් වුව ද වේ. වැඩිහිටි කාන්තාවක් ගැන කියනුම කවරේ ද?
සද්ධිං (සමඟ): එක්ව.
රහෝ (රහසිගත තැන) නම්: ඇසට නොපෙනෙන තැනත්, කනට නොඇසෙන තැනත්ය. ඇසට නොපෙනෙන තැන නම්: ඇස ගසන විට හෝ ඇහිබැම ඔසවන විට හෝ හිස ඔසවන විට හෝ දැක ගත නොහැකි තැනයි. කනට නොඇසෙන තැන නම්: සාමාන්‍ය කතාබහ ඇසිය නොහැකි තැනයි.
පටිච්ඡන්න (වැසී ඇති) නම්: අසුන බිත්තියකින් හෝ, දොර පියනකින් හෝ, පැදුරකින් හෝ, රෙදි තිරයකින් හෝ, ගසකින් හෝ, කණුවකින් හෝ, කොතැලියකින් (මල්ලකින්) හෝ, යම් කිසිවකින් වැසී තිබීමයි.
නිසජ්ජං කප්පෙය්ය (හිඳ ගනී නම්): කාන්තාව හිඳ සිටින කල්හි භික්ෂුව ඇය ළඟින් හිඳ ගත්තේ හෝ ළඟින් වැතිර සිටියේ හෝ වේ නම් පාචිත්තිය ඇවැත් වේ. භික්ෂුව හිඳ සිටින කල්හි කාන්තාව ඔහු ළඟින් හිඳ ගත්තී හෝ ළඟින් වැතිර සිටියී හෝ වේ නම් පාචිත්තිය ඇවැත් වේ. දෙදෙනාම හිඳ සිටිත් නම් හෝ දෙදෙනාම වැතිර සිටිත් නම් හෝ පාචිත්තිය ඇවැත් වේ.
කාන්තාවක් කෙරෙහි කාන්තාවක් යැයි හඟිමින් රහසිගතව, වැසී ඇති අසුනක හිඳ ගනී නම් පාචිත්තිය ඇවැත් වේ. කාන්තාවක් කෙරෙහි සැක ඇතිව රහසිගතව, වැසී ඇති අසුනක හිඳ ගනී නම් පාචිත්තිය ඇවැත් වේ. කාන්තාවක් කෙරෙහි කාන්තාවක් නොවේ යැයි හඟිමින් රහසිගතව, වැසී ඇති අසුනක හිඳ ගනී නම් පාචිත්තිය ඇවැත් වේ.