6. 5. 2.
උය්‍යෝජන ශික්ෂාපදය (පිටත් කර යැවීම පිළිබඳ ශික්ෂාපදය)
1. ඒ කාලයේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර අනේපිඬු සිටුතුමාගේ ජේතවන නම් ආරාමයේ වැඩ වසන සේක. එකල ආයුෂ්මත් උපනන්ද ශාක්‍යපුත්‍ර තෙරුන් තම සහෝදරයාගේ සද්ධිවිහාරික (ළඟ වසන ශිෂ්‍ය) භික්ෂුවකට “එන්න ඇවැත්නි, ගමට පිඬු පිණිස පිවිසෙමු” යි කීහ. ඉක්බිති ඔහුට කිසිවක් නොදෙවා “යන්න ඇවැත්නි, ඔබ සමඟ කතා කිරීම හෝ හිඳීම හෝ මට පහසු නැත. තනිව සිටින මට කතා කිරීම හෝ හිඳීම හෝ පහසු වේ” යි කියා ඔහු පිටත් කර යැවූහ. එවිට ඒ භික්ෂුවට දන් වළඳන වේලාව ළං වූ කල පිඬු පිණිස හැසිරෙන්නට නොහැකි විය. ආසන ශාලාවේදී ද ඔහුට දන් වැළඳීමට නොලැබුණි. ඔහුට දන් වේල අහිමි විය.
2. ඉක්බිති ඒ භික්ෂුව ආරාමයට ගොස් භික්ෂූන්ට මේ කරුණ දැන්වීය. යම් ඒ භික්ෂූන් අල්පේච්ඡ (ආශා අඩු) වූවාහු ද -පෙ- ඔව්හු හෙළා දකිති, නුගුණ කියති, දොස් පතුරුවති. “කෙසේ නම් ආයුෂ්මත් උපනන්ද ශාක්‍යපුත්‍ර තෙරුන් ‘එන්න ඇවැත්නි, ගමට පිඬු පිණිස පිවිසෙමු’ යි භික්ෂුවකට කියා, ඔහුට කිසිවක් නොදෙවා පිටත් කර යවන්නේ ද?” යි -පෙ- “උපනන්දය, ඔබ ‘එන්න ඇවැත්නි, ගමට පිඬු පිණිස පිවිසෙමු’ යි භික්ෂුවකට කියා, ඔහුට කිසිවක් නොදෙවා පිටත් කර යැවූ බව සැබෑ ද?” “සැබෑ ය, භාග්‍යවතුන් වහන්ස.” භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ගැරහූ සේක. -පෙ- “හිස් පුරුෂය, කෙසේ නම් ඔබ ‘එන්න ඇවැත්නි, ගමට පිඬු පිණිස පිවිසෙමු’ යි භික්ෂුවකට කියා, ඔහුට කිසිවක් නොදෙවා පිටත් කර යවන්නේ ද? හිස් පුරුෂය, මෙය නොපැහැදුණු අයගේ පැහැදීම පිණිස හෝ නොවේ. -පෙ- මහණෙනි, මේ ශික්ෂාපදය මෙසේ උදෙසිය යුතු ය (ප්‍රකාශ කළ යුතු ය):
“යම් භික්ෂුවක් භික්ෂුවකට ‘එන්න ඇවැත්නි, ගමට හෝ නියම්ගමට හෝ පිඬු පිණිස පිවිසෙමු’ යි කියා, ඔහුට යමක් දෙවා හෝ නොදෙවා හෝ ‘යන්න ඇවැත්නි, ඔබ සමඟ කතා කිරීම හෝ හිඳීම හෝ මට පහසු නැත. තනිව සිටින මට කතා කිරීම හෝ හිඳීම හෝ පහසු වේ’ යි, වෙනත් කරුණක් නොව මෙයම කරුණු කොට ගෙන පිටත් කර යවයි නම්, පාචිත්තිය ඇවැත් වේ.”
3. යො පන: යම් කෙනෙක්, යම් ආකාර කෙනෙක් -පෙ- භික්ඛු: -පෙ- මේ අර්ථයෙහි අදහස් කරන භික්ෂුව මොහුය. භික්ඛුං: වෙනත් භික්ෂුවක්. එහාවුසො ගාමං වා නිගමං වා: ගම ද නියම්ගම ද නගරය ද ගමත් වේ, නියම්ගමත් වේ.
තස්ස දාපෙත්වා: කැඳ හෝ බත් හෝ කන දෙයක් හෝ වළඳන දෙයක් හෝ දෙවා.
අදාපෙත්වා: කිසිවක් නොදෙවා.
උය්‍යෝජෙය්‍ය: ස්ත්‍රියක සමඟ සිනාසෙන්නට කැමති, සෙල්ලම් කරන්නට කැමති, රහසිගතව හිඳින්නට කැමති, නුසුදුසු ලෙස (කයින් හා වචනයෙන් කරන අනෙක් නුසුදුසු ක්‍රියාවල) හැසිරෙන්නට කැමති භික්ෂුවක් “යන්න ඇවැත්නි, ඔබ සමඟ කතා කිරීම හෝ හිඳීම හෝ මට පහසු නැත. තනිව සිටින මට කතා කිරීම හෝ හිඳීම හෝ පහසු වේ” යි කියා පිටත් කර යවයි නම් දුක්කට ඇවැත් වේ. (යවනු ලබන තැනැත්තා) ඇස පෙනෙන සීමාව හෝ කන ඇසෙන සීමාව හෝ ඉක්මවන විට දුක්කට ඇවැත් වේ. ඉක්මවූ කල පාචිත්තිය ඇවැත් වේ.
එතදෙව පච්චයං කරිත්වා අනඤ්ඤං: පිටත් කර යවන්නට වෙනත් කිසිම කරුණක් නැත.
උපසම්පදා ලත් අයෙකු කෙරෙහි උපසම්පදා ලත් අයෙකු යැයි හඟිමින් පිටත් කර යවයි නම් පාචිත්තිය ඇවැත් වේ. උපසම්පදා ලත් අයෙකු කෙරෙහි සැක ඇතිව පිටත් කර යවයි නම් පාචිත්තිය ඇවැත් වේ. උපසම්පදා ලත් අයෙකු කෙරෙහි උපසම්පදා නොලත් අයෙකු යැයි හඟිමින් පිටත් කර යවයි නම් පාචිත්තිය ඇවැත් වේ.
එරෙහි වචන කියයි නම් දුක්කට ඇවැත් වේ. උපසම්පදා නොලත් අයෙකු පිටත් කර යවයි නම් දුක්කට ඇවැත් වේ. එරෙහි වචන කියයි නම් දුක්කට ඇවැත් වේ.
උපසම්පදා නොලත් අයෙකු කෙරෙහි උපසම්පදා ලත් අයෙකු යැයි හඟින්නේ නම් දුක්කට ඇවැත් වේ. උපසම්පදා නොලත් අයෙකු කෙරෙහි සැක ඇත්තේ නම් දුක්කට ඇවැත් වේ. උපසම්පදා නොලත් අයෙකු කෙරෙහි උපසම්පදා නොලත් අයෙකු යැයි හඟින්නේ නම් දුක්කට ඇවැත් වේ.
ඇවැත් නැත: “දෙදෙනා එක්ව සිටීමෙන් අපට යැපෙන්නට නොහැකි වෙයි” කියා පිටත් කර යවයි නම්, “වටිනා බඩුවක් දැක ලෝභය උපදවා ගනීවි” කියා පිටත් කර යවයි නම්, “ස්ත්‍රියක දැක උකටලීබව උපදවා ගනීවි” කියා පිටත් කර යවයි නම්, “ගිලන් භික්ෂුවට හෝ නැවතී සිටින්නාට හෝ විහාරය රකින්නාට හෝ කැඳ හෝ බත් හෝ කන දෙයක් හෝ වළඳන දෙයක් හෝ ගෙන යන්න” කියා පිටත් කර යවයි නම්, නුසුදුසු ලෙස හැසිරෙන්නට අකමැතිව, කළ යුතු කටයුත්තක් ඇති කල පිටත් කර යවයි නම් ඇවැත් නැත. සිහි විකල් වූවෙකුට ද, මුලින්ම මේ වරද කළ තැනැත්තාට (ආදිකම්මිකයාට) ද ඇවැත් නැත.
දෙවැනි උය්‍යෝජන ශික්ෂාපදය නිමි.