6. 4. 9.
පණීතභෝජන ශික්ෂාපදය
1. ඒ කාලයේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර ජේතවනය නම් වූ අනේපිඬු සිටුතුමාගේ ආරාමයෙහි වැඩ වාසය කරන සේක. එකල ෂඩ්වර්ගික (සය නමකගෙන් යුත් කණ්ඩායමේ) භික්ෂූහු ප්‍රණීත භෝජන (උසස් ආහාර) තමන් පිණිස ඉල්ලා වළඳති. මිනිස්සු හෙළා දකිති, නුගුණ කියති, දොස් පතුරුවති: “ශාක්‍යපුත්‍ර ශ්‍රමණයෝ කෙසේ නම් ප්‍රණීත භෝජන තමන් පිණිස ඉල්ලා වළඳත් ද? මිහිරි දෙය කාට නම් ප්‍රිය නැද්ද? රසවත් දෙය කාට නම් රුචි නැද්ද?” කියා. හෙළා දකින, නුගුණ කියන, දොස් පතුරුවන ඒ මිනිසුන්ගේ (අපකීර්තිමත් කතා) භික්ෂූහු ඇසූහ. යම් ඒ භික්ෂූන් කෙනෙක් අල්පේච්ඡ (ආශා අඩු) වූවාහු ද -පෙ- ඔවුහු හෙළා දකිති, නුගුණ කියති, දොස් පතුරුවති: “ෂඩ්වර්ගික භික්ෂූහු කෙසේ නම් ප්‍රණීත භෝජන තමන් පිණිස ඉල්ලා වළඳත් ද?” කියා. -පෙ- “මහණෙනි, ඔබ ප්‍රණීත භෝජන තමන් පිණිස ඉල්ලා වළඳන බව සැබෑ ද?” “භාග්‍යවතුන් වහන්ස, එය සැබෑය.” භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ගැරහූ සේක. -පෙ- “හිස් පුරුෂයෙනි, ඔබ කෙසේ නම් ප්‍රණීත භෝජන තමන් පිණිස ඉල්ලා වළඳන්නහු ද? හිස් පුරුෂයෙනි, මෙය නොපැහැදුණු අයගේ පැහැදීම පිණිස හෝ නොවේ. -පෙ- මහණෙනි, මේ ශික්ෂාපදය මෙසේ උදෙසිය යුතු ය (ප්‍රකාශ කළ යුතු ය):
“ගිතෙල්, වෙඬරු, තෙල්, මී පැණි, උක් සකුරු, මාළු, මස්, කිරි, දී යන යම් ඒ ප්‍රණීත භෝජන ඇත්තේ ද, එබඳු වූ ප්‍රණීත භෝජන යම් භික්ෂුවක් තමා පිණිස ඉල්ලා වළඳන්නේ නම් පාචිත්තිය ඇවැත් වේ” යි.
මෙසේ භාග්‍යවතුන් වහන්සේ විසින් භික්ෂූන්ට මේ ශික්ෂාපදය පනවන ලද්දේ වෙයි.
2. එකල භික්ෂූහු ගිලන් වෙති. ගිලනුන්ගේ සුවදුක් විචාරන භික්ෂූහු ගිලන් භික්ෂූන්ගෙන් මෙසේ ඇසූහ: “ඇවැත්නි, කිම, ඉවසිය හැකි ද? යැපිය හැකි ද?” “ඇවැත්නි, අපි පෙර ප්‍රණීත භෝජන තමන් පිණිස ඉල්ලා වළඳමු. එයින් අපට පහසු වෙයි. දැන් වනාහි භාග්‍යවතුන් වහන්සේ විසින් එය තහනම් කරන ලදැයි සැක කරමින් අපි නොඉල්ලමු. එයින් අපට පහසු නොවේ.” මේ කරුණ භාග්‍යවතුන් වහන්සේට දැන්වූහ. එවිට භාග්‍යවතුන් වහන්සේ මේ කරුණෙහි, මේ අවස්ථාවෙහි ධර්ම කතාවක් කොට භික්ෂූන් ඇමතූ සේක: “මහණෙනි, ගිලන් භික්ෂුවට ප්‍රණීත භෝජන තමා පිණිස ඉල්ලා වළඳන්නට අනුමත කරමි. මහණෙනි, මේ ශික්ෂාපදය මෙසේ උදෙසිය යුතු ය (ප්‍රකාශ කළ යුතු ය):
“ගිතෙල්, වෙඬරු, තෙල්, මී පැණි, උක් සකුරු, මාළු, මස්, කිරි, දී යන යම් ඒ ප්‍රණීත භෝජන ඇත්තේ ද, එබඳු වූ ප්‍රණීත භෝජන යම් භික්ෂුවක් ගිලන් නොවී සිටිමින් තමා පිණිස ඉල්ලා වළඳන්නේ නම් පාචිත්තිය ඇවැත් වේ” යි.
3. යානි ඛො පන තානි පණීතභෝජනානි (යම් ඒ ප්‍රණීත භෝජන): සප්පි නම්: එළ ගිතෙල් හෝ එළු ගිතෙල් හෝ මී හරක් ගිතෙල් හෝ ය; යම් සතුන්ගේ මස් කැප නම් ඔවුන්ගේ ගිතෙල් ය. නවනීත නම්: ඔවුන්ගේම වෙඬරු ය. තෙල නම්: තල තෙල්, අබ තෙල්, මී තෙල් (මී ගසේ ඇටවලින් ගත් තෙල්), එඬරු තෙල්, වුරුණු තෙල් (සතුන්ගේ මේදයෙන් ගත් තෙල්) ය. මධු නම්: මී මැස්සන්ගේ මී පැණි ය. ඵාණිත නම්: උක් ගසින් නිපදවන ලද උක් සකුරු ය. මච්ඡ නම්: ජලයේ උපන් සතුන්ගේ මස යැයි කියනු ලැබේ. මංස නම්: යම් සතුන්ගේ මස් කැප නම් ඔවුන්ගේ මස ය. ඛීර නම්: එළ කිරි හෝ එළු කිරි හෝ මී හරක් කිරි හෝ ය; යම් සතුන්ගේ මස් කැප නම් ඔවුන්ගේ කිරි ය. දධි නම්: ඔවුන්ගේම දී ය.
යො පන (යමෙක්): යම් කෙනෙක්, යම් ආකාරයක කෙනෙක් -පෙ- භික්ඛු (භික්ෂුව): -පෙ- මේ අර්ථයෙහි අදහස් කරන ලද භික්ෂුව මොහු ය.
එවරූපානි පණීතභෝජනානි: එබඳු වූ ප්‍රණීත භෝජන.
අගිලාන (ගිලන් නොවූ තැනැත්තා) නම්: ප්‍රණීත භෝජන නැතිව යමෙකුට පහසු වේ නම් ඔහු ය.
ගිලාන (ගිලන් තැනැත්තා) නම්: ප්‍රණීත භෝජන නැතිව යමෙකුට පහසු නොවේ නම් ඔහු ය.
ගිලන් නොවූවෙක් තමා පිණිස ඉල්ලයි නම්, ඉල්ලන ක්‍රියාවේදී දුක්කට ඇවැත් වේ. ලැබුණු විට වළඳන්නෙමි යි පිළිගනී නම් දුක්කට ඇවැත් වේ. ගිලින වාරයක් පාසා පාචිත්තිය ඇවැත් වේ.