6. 4. 10.
දන්තපොන ශික්ෂාපදය
1. ඒ කාලයෙහි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ විශාලා නුවර මහාවනයෙහි කූටාගාර ශාලාවෙහි වැඩ වාසය කරන සේක. එකල එක්තරා භික්ෂුවක් සර්වපාංශුකූලිකව (සියලු දේ සොහොනේ ඉවත දැමූ දේවලින්ම සපයා ගනිමින්) සොහොනෙහි වාසය කරයි. හෙතෙම මිනිසුන් විසින් දෙනු ලබන දෙයක් පිළිගන්නට නොකැමැති වෙයි. සොහොනෙහි ද, රුක් මුලෙහි ද, එළිපත්තෙහි ද මියගිය නෑයන් උදෙසා තබන පිඬු තමාම ගෙන වළඳයි. මිනිස්සු හෙළා දකිති, නුගුණ කියති, දොස් පතුරුවති: “කෙසේ නම් මේ භික්ෂුව අපගේ මියගිය නෑයන් උදෙසා තබන පිඬු තමාම ගෙන වළඳන්නේ ද? මේ භික්ෂුව තර වූ, වට වූ සිරුරක් ඇත්තෙකි. මිනිස් මස් කන්නෙකු යැයි අපට සිතේ.” හෙළා දකින, නුගුණ කියන, දොස් පතුරුවන ඒ මිනිසුන්ගේ අපකීර්තිය භික්ෂූහු ඇසූහ. යම් භික්ෂු කෙනෙක් අල්පේච්ඡ (ආශා අඩු) වූවෝ ද -පෙ- ඔවුහු හෙළා දකිති, නුගුණ කියති, දොස් පතුරුවති: “කෙසේ නම් භික්ෂුවක් නොපිළිගත් ආහාරයක් කටට දමා ගිල්ලේ ද?” -පෙ- “මහණ, ඔබ නොපිළිගත් ආහාරයක් කටට දමා ගිල්ල බව සැබෑ ද?” “භාග්‍යවතුන් වහන්ස, එය සැබෑය.” භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ගැරහූ සේක. -පෙ- “හිස් පුරුෂය, කෙසේ නම් ඔබ නොපිළිගත් ආහාරයක් කටට දමා ගිල්ලෙහි ද? හිස් පුරුෂය, මෙය නොපැහැදුණු අයගේ පැහැදීම පිණිස හෝ නොවේ. -පෙ- මහණෙනි, මේ ශික්ෂාපදය මෙසේ උදෙසිය යුතු ය (ප්‍රකාශ කළ යුතු ය):
“යම් භික්ෂුවක් නොපිළිගත් ආහාරයක් කටට දමා ගිලින්නේ නම් පාචිත්තිය ඇවැත් වේ.”
මෙසේ භාග්‍යවතුන් වහන්සේ විසින් භික්ෂූන්ට මේ ශික්ෂාපදය පනවන ලද්දේ වෙයි.
2. එකල භික්ෂූහු වතුර සහ දැහැටි ගැනීම ගැන සැක ඇති කරගත්හ. මේ කරුණ භාග්‍යවතුන් වහන්සේට දැන්වූහ. එවිට භාග්‍යවතුන් වහන්සේ මේ කරුණෙහි, මේ අවස්ථාවෙහි ධර්ම කතාවක් කොට භික්ෂූන් ඇමතූ සේක: “මහණෙනි, පිළිගන්වා නොදුන් වතුර සහ දැහැටි තමාම ගෙන පරිහරණය කරන්නට අනුමත කරමි. මහණෙනි, මේ ශික්ෂාපදය මෙසේ උදෙසිය යුතු ය (ප්‍රකාශ කළ යුතු ය):
“යම් භික්ෂුවක් වතුර සහ දැහැටි හැර, පිළිගන්වා නොදුන් ආහාරයක් කටට දමා ගිලින්නේ නම් පාචිත්තිය ඇවැත් වේ.”
3. යො පන (යමෙක්): යම් කෙනෙක්, යම් ආකාරයක කෙනෙක් -පෙ- භික්ඛු (භික්ෂුව): -පෙ- මේ අර්ථයෙහි අදහස් කරන ලද භික්ෂුව මොහු ය.
අදින්න නම්: පිළිගන්වා නොදුන් දෙයට කියනු ලැබේ. දින්න නම්: කයින් හෝ කයට සම්බන්ධ දෙයකින් හෝ විසිකර දීමෙන් හෝ දෙන කල්හි, අත්පසෙහි (අතට අල්ලා දිය හැකි දුරෙහි) සිටින භික්ෂුව කයින් හෝ කයට සම්බන්ධ දෙයකින් (පාත්‍රය ආදියකින්) හෝ පිළිගනී නම්, මෙය දෙන ලද්ද නම් වේ.
ආහාර නම්: වතුර සහ දැහැටි හැර ගිලිය යුතු යම් කිසි දෙයක් වේ ද, මෙය ආහාර නම් වේ.
අඤ්ඤත්‍ර උදකදන්තපොනා: වතුර සහ දැහැටි හැර. කන්නෙමි, වළඳන්නෙමි යි පිළිගනී නම් දුක්කට ඇවැත් වේ. ගිලින වාරයක් පාසා පාචිත්තිය ඇවැත් වේ.
නොපිළිගත් දෙයක් නොපිළිගත් දෙයක් යැයි හඟිමින්, වතුර සහ දැහැටි හැර, නොදුන් ආහාරයක් කටට දමා ගිලී නම් පාචිත්තිය ඇවැත් වේ. නොපිළිගත් දෙයක් ගැන සැක ඇතිව, වතුර සහ දැහැටි හැර, නොදුන් ආහාරයක් කටට දමා ගිලී නම් පාචිත්තිය ඇවැත් වේ. නොපිළිගත් දෙයක් පිළිගත් දෙයක් යැයි හඟිමින්, වතුර සහ දැහැටි හැර, නොදුන් ආහාරයක් කටට දමා ගිලී නම් පාචිත්තිය ඇවැත් වේ.
පිළිගත් දෙයක් නොපිළිගත් දෙයක් යැයි හඟී නම් දුක්කට ඇවැත් වේ. පිළිගත් දෙයක් ගැන සැක ඇත්තේ නම් දුක්කට ඇවැත් වේ. පිළිගත් දෙයක් පිළිගත් දෙයක් යැයි හඟී නම් ඇවැත් නැත.
ඇවැත් නැත: වතුර සහ දැහැටි ගැනීමෙහි ද, කරුණක් ඇති කල්හි කැප කර දෙන්නෙකු (කප්පියකාරක) නැති විට සතර මහාවිකට (අසූචි, මුත්‍රා, අළු, මැටි යන බෙහෙත් පිණිස ගන්නා දේ සතර) තමාම ගෙන වළඳයි නම් ද ඇවැත් නැත. සිහි විකල් වූවෙකුට ද, මුලින්ම මේ වරද කළ තැනැත්තාට (ආදිකම්මිකයාට) ද ඇවැත් නැත.
දසවැනි දන්තපොන ශික්ෂාපදය යි.
සිව්වැනි භෝජන වර්ගය යි.
එහි සාරාංශය (උද්දානය):
ආවසථපිණ්ඩ ද, ගණභෝජන ද, පරම්පරභෝජන ද, කාණමාතා ද, පඨමපවාරණ, දුතියපවාරණ යන දෙක ද, විකාලභෝජන ද, සන්නිධිකාරක ද, පණීතභෝජන ද, දන්තපොන සමඟ වදාළ ඒ ශික්ෂාපද දහයකි.