6. 4. 8.
සන්නිධිකාරක ශික්ෂාපදය
1. එකල භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර අනේපිඬු සිටුතුමාගේ ජේතවන නම් ආරාමයෙහි වැඩ වසන සේක. එකල ආයුෂ්මත් ආනන්ද තෙරුන්ගේ උපාධ්‍යාය (ගුරු) වූ ආයුෂ්මත් බෙල්ලට්ඨිසීස තෙරුන් (දහසක් ජටිලයන් අතුරෙන් පැවිදි වූ එක් මහතෙර නමක්) ආරණ්‍යයෙහි වැඩ වසති. උන්වහන්සේ පිඬු පිණිස වැඩම කර, හොදි ව්‍යංජන මුසු නොවූ බත් ආරාමයට ගෙන ගොස් වියළවා තබති. යම් දිනක ආහාරයෙන් ප්‍රයෝජනයක් ඇති වේ ද, එදින එය වතුරෙන් තෙමමින් වළඳති. බොහෝ කලකට වරක් පිඬු පිණිස ගමට පිවිසෙති. භික්ෂූන් ආයුෂ්මත් බෙල්ලට්ඨිසීස තෙරුන්ට මෙසේ කීහ: “ඇවැත් බෙල්ලට්ඨිසීසයෙනි, ඔබ බොහෝ කලකට වරක් පිඬු පිණිස ගමට පිවිසෙන්නේ කුමක් නිසා ද?”
2. එවිට ආයුෂ්මත් බෙල්ලට්ඨිසීස තෙරුන් මේ කරුණ භික්ෂූන්ට දැන්වූහ. “කිම ඇවැත්නි, ඔබ රැස් කොට තැබූ ආහාර වළඳන්නෙහි ද?” “එසේය ඇවැත්නි.” අල්පේච්ඡ (ආශා අඩු) වූ යම් ඒ භික්ෂූන් ඇද්ද -පෙ- ඔවුහු “ආයුෂ්මත් බෙල්ලට්ඨිසීස තෙරුන් රැස් කොට තැබූ ආහාර වළඳන්නේ කෙසේ නම් ද?” යි හෙළා දකිති, නුගුණ කියති, දොස් පතුරුවති. -පෙ- “බෙල්ලට්ඨිසීස, ඔබ රැස් කොට තැබූ ආහාර වළඳන බව සැබෑ ද?” “සැබෑ ය, භාග්‍යවතුන් වහන්ස.” භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ගැරහූ සේක. -පෙ- “බෙල්ලට්ඨිසීස, ඔබ රැස් කොට තැබූ ආහාර වළඳන්නේ කෙසේ නම් ද? බෙල්ලට්ඨිසීස, මෙය නොපැහැදුණු අයගේ පැහැදීම පිණිස හෝ නොවේ. -පෙ- මහණෙනි, මේ ශික්ෂාපදය මෙසේ උදෙසිය යුතු ය (ප්‍රකාශ කළ යුතු ය):
“යම් භික්ෂුවක් රැස් කොට තැබූ කෑ යුතු දෙයක් හෝ වැළඳිය යුතු දෙයක් හෝ කයි නම් හෝ වළඳයි නම් හෝ පාචිත්තිය ඇවැත් වේ.”
3. යො පන (යමෙක්): යම් කෙනෙක්, යම් ආකාරයක කෙනෙක් -පෙ- භික්ඛු (භික්ෂුව): -පෙ- මේ අර්ථයෙහි අදහස් කරන ලද භික්ෂුව මොහු ය.
සන්නිධිකාරක (රැස් කොට තැබූ) නම්: අද පිළිගත් ආහාරය වෙනත් දිනකට තබා ගැනීම යි.
ඛාදනීය (කෑ යුතු දෑ) නම්: පස් වැදෑරුම් බොජුන් ද, යාමකාලිකය (රාත්‍රියේ අවසන් යාමය දක්වා වැළඳිය හැකි පාන) ද, සත්තාහකාලිකය (සත් දිනක් තබා ගත හැකි ගිතෙල් ආදී පස් වැදෑරුම් බෙහෙත්) ද, යාවජීවිකය (වතුර හැර, ජීවිතාන්තය දක්වා තබා ගත හැකි සෙසු බෙහෙත්) ද හැර ඉතිරි දෑ ඛාදනීය නම් වේ.
භෝජනීය (වැළඳිය යුතු දෑ) නම්: බත්, කොමු, සත්තු (ධාන්‍ය පිටි), මාළු, මස් යන පස් වැදෑරුම් බොජුන් ය. “කන්නෙමි, වළඳන්නෙමි” යි පිළිගනී නම් දුක්කට ඇවැත් වේ. ගිලින වාරයක් පාසා පාචිත්තිය ඇවැත් වේ.
රැස් කොට තැබූ දෙයෙහි රැස් කොට තැබූ දෙයක් යැයි හඟිමින් කෑ යුතු දෙයක් හෝ වැළඳිය යුතු දෙයක් හෝ කයි නම් හෝ වළඳයි නම් හෝ පාචිත්තිය ඇවැත් වේ. රැස් කොට තැබූ දෙයෙහි සැක ඇතිව කෑ යුතු දෙයක් හෝ වැළඳිය යුතු දෙයක් හෝ කයි නම් හෝ වළඳයි නම් හෝ පාචිත්තිය ඇවැත් වේ. රැස් කොට තැබූ දෙයෙහි රැස් කොට නොතැබූ දෙයක් යැයි හඟිමින් කෑ යුතු දෙයක් හෝ වැළඳිය යුතු දෙයක් හෝ කයි නම් හෝ වළඳයි නම් හෝ පාචිත්තිය ඇවැත් වේ.
යාමකාලිකය, සත්තාහකාලිකය, යාවජීවිකය ආහාරය පිණිස පිළිගනී නම් දුක්කට ඇවැත් වේ. ගිලින වාරයක් පාසා දුක්කට ඇවැත් වේ.
රැස් කොට නොතැබූ දෙයෙහි රැස් කොට තැබූ දෙයක් යැයි හඟී නම් දුක්කට ඇවැත් වේ. රැස් කොට නොතැබූ දෙයෙහි සැක ඇත්තේ නම් දුක්කට ඇවැත් වේ. රැස් කොට නොතැබූ දෙයෙහි රැස් කොට නොතැබූ දෙයක් යැයි හඟී නම් ඇවැත් නැත.