6. 4. 7.
විකාලභෝජන ශික්ෂාපදය
1. එකල භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ රජගහ නුවර කලන්දකනිවාප නම් වූ වේළුවන ආරාමයේ වැඩ වසන සේක. එකල රජගහ නුවර ගිරග්ගසමජ්ජ නම් නැටුම් උත්සවයක් පැවැත්වේ. සත්තරසවග්ගීය (දාහත් නමකගෙන් යුත් කණ්ඩායමේ) භික්ෂූහු ගිරග්ගසමජ්ජ නම් නැටුම් උත්සවය බලන්නට ගියහ. මිනිස්සු සත්තරසවග්ගීය භික්ෂූන් දැක, නහවා, සුවඳ විලවුන් ගල්වා, ආහාර වළඳවා, කෑයුතු දෑ දුන්හ. සත්තරසවග්ගීය භික්ෂූහු කෑයුතු දෑ රැගෙන ආරාමයට ගොස් ෂඩ්වර්ගික (සය නමකගෙන් යුත් කණ්ඩායමේ) භික්ෂූන්ට මෙසේ කීහ: “ඇවැත්නි, එන්න, කෑයුතු දෑ වළඳන්න.” “ඇවැත්නි, ඔබට කෑයුතු දෑ ලැබුණේ කොහෙන් ද?” සත්තරසවග්ගීය භික්ෂූහු ෂඩ්වර්ගික භික්ෂූන්ට මේ කරුණ දැන්වූහ. “ඇවැත්නි, කිම, ඔබ විකාලයේ (දහවල් දොළහෙන් පසු නොකල් වේලාවේ) ආහාර වළඳන්නහු ද?” “එසේය, ඇවැත්නි.” ෂඩ්වර්ගික භික්ෂූහු හෙළා දකිති, නුගුණ කියති, දොස් පතුරුවති: “කෙසේ නම් සත්තරසවග්ගීය භික්ෂූහු විකාලයේ ආහාර වළඳන්නාහු ද?” කියා.
2. එවිට ෂඩ්වර්ගික භික්ෂූහු භික්ෂූන්ට මේ කරුණ දැන්වූහ. අල්පේච්ඡ (ආශා අඩු) වූ යම් ඒ භික්ෂූන් -පෙ- ඔවුහු හෙළා දකිති, නුගුණ කියති, දොස් පතුරුවති: “කෙසේ නම් සත්තරසවග්ගීය භික්ෂූහු විකාලයේ ආහාර වළඳන්නාහු ද?” කියා. -පෙ- “මහණෙනි, ඔබ විකාලයේ ආහාර වළඳන බව සැබෑ ද?” “සැබෑ ය, භාග්‍යවතුන් වහන්ස.” භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ගැරහූ සේක -පෙ- “හිස් පුරුෂයෙනි, ඔබ කෙසේ නම් විකාලයේ ආහාර වළඳන්නහු ද? හිස් පුරුෂයෙනි, මෙය නොපැහැදුණු අයගේ පැහැදීම පිණිස හෝ නොවේ -පෙ- මහණෙනි, මේ ශික්ෂාපදය මෙසේ උදෙසිය යුතු ය (ප්‍රකාශ කළ යුතු ය).
යම් භික්ෂුවක් විකාලයේ කෑ යුතු දෙයක් හෝ වැළඳිය යුතු දෙයක් හෝ කයි නම් හෝ වළඳයි නම් හෝ පාචිත්තිය ඇවැත් වේ.
3. යො පන (යමෙක්): යම් කෙනෙක්, යම් ආකාරයක කෙනෙක් -පෙ- භික්ඛු (භික්ෂුව): -පෙ- මේ අර්ථයෙහි අදහස් කරන ලද භික්ෂුව මොහු ය.
විකාලය නම්: මධ්‍යාහ්නය (දහවල් දොළහ) ඉක්මගිය පසු අරුණ නගින තෙක් ඇති කාලයයි.
ඛාදනීය (කෑ යුතු දෑ) නම්: පස් වැදෑරුම් බොජුන් ද, යාමකාලිකය (රාත්‍රියේ අවසන් යාමය දක්වා වැළඳිය හැකි පාන) ද, සත්තාහකාලිකය (සත් දිනක් තබා ගත හැකි ගිතෙල් ආදී පස් වැදෑරුම් බෙහෙත්) ද, යාවජීවිකය (වතුර හැර, ජීවිතාන්තය දක්වා තබා ගත හැකි සෙසු බෙහෙත්) ද හැර ඉතිරි දෑ ඛාදනීය නම් වේ.
භෝජනීය (වැළඳිය යුතු දෑ) නම්: බත්, කොමු, සත්තු (ධාන්‍ය පිටි), මාළු, මස් යන පස් වැදෑරුම් බොජුන් ය. “කන්නෙමි, වළඳන්නෙමි” කියා පිළිගනී නම් දුක්කට ඇවැත් වේ. ගිලින වාරයක් පාසා පාචිත්තිය ඇවැත් වේ.
විකාලයේ විකාලය යැයි හඟිමින් කෑ යුතු දෙයක් හෝ වැළඳිය යුතු දෙයක් හෝ කයි නම් හෝ වළඳයි නම් හෝ පාචිත්තිය ඇවැත් වේ. විකාලයේ සැක ඇත්තේ කෑ යුතු දෙයක් හෝ වැළඳිය යුතු දෙයක් හෝ කයි නම් හෝ වළඳයි නම් හෝ පාචිත්තිය ඇවැත් වේ. විකාලයේ කාලය යැයි හඟිමින් කෑ යුතු දෙයක් හෝ වැළඳිය යුතු දෙයක් හෝ කයි නම් හෝ වළඳයි නම් හෝ පාචිත්තිය ඇවැත් වේ.
යාමකාලිකය, සත්තාහකාලිකය, යාවජීවිකය ආහාරය පිණිස පිළිගනී නම් දුක්කට ඇවැත් වේ. ගිලින වාරයක් පාසා දුක්කට ඇවැත් වේ.
කාලයේ විකාලය යැයි හඟී නම් දුක්කට ඇවැත් වේ. කාලයේ සැක ඇත්තේ නම් දුක්කට ඇවැත් වේ. කාලයේ කාලය යැයි හඟී නම් ඇවැත් නැත.
ඇවැත් නැත: යාමකාලිකය, සත්තාහකාලිකය, යාවජීවිකය හේතුවක් ඇති විට වළඳයි නම්, සිහි විකල් වූවෙකුට ද, මුලින්ම මේ වරද කළ තැනැත්තාට (ආදිකම්මිකයාට) ද ඇවැත් නැත.
හත්වැනි විකාලභෝජන ශික්ෂාපදය යි.
6. 4. 8.
සන්නිධිකාරක ශික්ෂාපදය
1. එකල භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර අනේපිඬු සිටුතුමාගේ ජේතවන නම් ආරාමයෙහි වැඩ වසන සේක. එකල ආයුෂ්මත් ආනන්ද තෙරුන්ගේ උපාධ්‍යාය (ගුරු) වූ ආයුෂ්මත් බෙල්ලට්ඨිසීස තෙරුන් (දහසක් ජටිලයන් අතුරින් පැවිදි වූ එක් මහතෙර නමක්) ආරණ්‍යයෙහි වැඩ වසති. උන්වහන්සේ පිඬු පිණිස වැඩම කර, හොදි ව්‍යංජන මුසු නොවූ බත් ආරාමයට ගෙන ගොස් වියළවා තබති. යම් දිනක ආහාරයෙන් ප්‍රයෝජනයක් ඇති වේ ද, එදින එය වතුරෙන් තෙමමින් වළඳති. බොහෝ කලකට වරක් පිඬු පිණිස ගමට පිවිසෙති. භික්ෂූන් ආයුෂ්මත් බෙල්ලට්ඨිසීස තෙරුන්ට මෙසේ කීහ: “ඇවැත් බෙල්ලට්ඨිසීසයෙනි, ඔබ බොහෝ කලකට වරක් පිඬු පිණිස ගමට පිවිසෙන්නේ කුමක් නිසා ද?”