6. 4. 6.
දුතියපවාරණ ශික්ෂාපදය
1. එසමයෙහි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර අනේපිඬු සිටුතුමාගේ ජේතවන නම් ආරාමයෙහි වැඩ වසන සේක. එසමයෙහි භික්ෂූන් දෙනමක් කොසොල් දනව්වෙහි සිට සැවැත් නුවරට යන දුර ගමනක යෙදී සිටියහ. එක් භික්ෂුවක් පනවන ලද ශික්ෂාපද ඉක්මවා හැසිරෙයි. දෙවන භික්ෂුව ඒ භික්ෂුවට “ඇවැත්නි, මෙබඳු දෙයක් නොකරන්න. මෙය නොකැප ය” යි කීය. ඔහු ඒ භික්ෂුව කෙරෙහි වෛර බැඳ ගත්තේ ය. ඉක්බිති ඒ භික්ෂූහු සැවැත් නුවරට ගියහ. එසමයෙහි සැවැත් නුවර එක්තරා පිරිසකගේ සංඝ දානයක් විය. දෙවන භික්ෂුව වළඳා අවසන් කොට පවාරිත වූයේ (තවත් ආහාර ප්‍රතික්ෂේප කළේ) වෙයි. වෛර බැඳි භික්ෂුව නෑදෑ නිවසකට ගොස් පිණ්ඩපාතය ගෙන ඒ භික්ෂුව වෙත පැමිණියේ ය. පැමිණ ඒ භික්ෂුවට “ඇවැත්නි, වළඳන්න” යි කීය. “ඇවැත්නි, ඇති. මම සෑහෙන්නට වැළඳුවෙමි.” “ඇවැත්නි, පිණ්ඩපාතය යහපත් ය, වළඳන්න.” ඉක්බිති ඒ භික්ෂුව ඒ භික්ෂුව විසින් බල කරනු ලැබ ඒ පිණ්ඩපාතය වැළඳුවේ ය. වෛර බැඳි භික්ෂුව ඒ භික්ෂුවට මෙසේ කීය: “ඇවැත්නි, ඔබ වළඳා අවසන් කොට පවාරිත වී සිටියදී අතිරිත්ත නොකළ (විනය අනුව ඉතිරි කළ දෙයක් බවට පත් නොකළ) ආහාරය වළඳන්නෙහි නම්, එබඳු ඔබ මට අවවාද කළ යුතු යැයි සිතන්නෙහි ද?” “ඇවැත්නි, කිව යුතු නොවේ ද?” “ඇවැත්නි, විචාළ යුතු නොවේ ද?”
2. ඉක්බිති ඒ භික්ෂුව භික්ෂූන්ට මේ කරුණ සැල කළේ ය. අල්පේච්ඡ (ආශා අඩු) වූ යම් ඒ භික්ෂූන් -පෙ- වූවාහු ද, ඔවුහු හෙළා දකිති, නුගුණ කියති, දොස් පතුරුවති: “කෙසේ නම් භික්ෂුවක් වළඳා අවසන් කොට පවාරිත වූ භික්ෂුවක් වෙත ගෙන ගොස් අතිරිත්ත නොකළ ආහාරයෙන් පවරන්නේ ද?” -පෙ- “මහණ, ඔබ වළඳා අවසන් කොට පවාරිත වූ භික්ෂුවක් වෙත ගෙන ගොස් අතිරිත්ත නොකළ ආහාරයෙන් පැවරුවේ සැබෑ ද?” “සැබෑ ය, භාග්‍යවතුන් වහන්ස.” භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ගැරහූ සේක -පෙ- “හිස් පුරුෂය, කෙසේ නම් ඔබ වළඳා අවසන් කොට පවාරිත වූ භික්ෂුවක් වෙත ගෙන ගොස් අතිරිත්ත නොකළ ආහාරයෙන් පවරන්නෙහි ද? හිස් පුරුෂය, මෙය නොපැහැදුණු අයගේ පැහැදීම පිණිස හෝ නොවේ -පෙ- මහණෙනි, මේ ශික්ෂාපදය මෙසේ උදෙසිය යුතු ය (ප්‍රකාශ කළ යුතු ය).
“යම් භික්ෂුවක් වළඳා අවසන් කොට පවාරිත වූ භික්ෂුවක් වෙත අතිරිත්ත නොකළ කෑ යුතු දෙයක් හෝ වැළඳිය යුතු දෙයක් හෝ ගෙන ගොස්, ‘මහණ, මෙන්න, කන්න හෝ වළඳන්න හෝ’ යි, චෝදනා කිරීමට කැමැත්තෙන් දැන දැනම පවරන්නේ නම්, ඔහු වැළඳූ කල්හි පාචිත්තිය වේ” යි.
3. යො පන (යමෙක්): යම් කෙනෙක්, යම් ආකාරයක කෙනෙක් -පෙ- භික්ඛු (භික්ෂුව): -පෙ- මේ අර්ථයෙහි අදහස් කරන ලද භික්ෂුව මොහු ය.
භික්ඛුං (භික්ෂුවක්): අන් භික්ෂුවක්.
භුත්තාවී (වළඳා අවසන් කළ) නම්: පස් වැදෑරුම් බොජුන් අතුරෙන් එක් බොජුනක් අඩුම තරමින් කුස තණ අගකින් හෝ වැළඳුවේ වෙයි.
පවාරිත නම්: කෑම නිම නොකළ බව පෙනෙයි; (පැවරීමට සෑහෙන) බොජුන පෙනෙයි; අත්පස (අතට අල්ලා දිය හැකි දුරෙහි) සිටියේ වෙයි; ළඟට ගෙන එයි; ප්‍රතික්ෂේප කිරීම පෙනෙයි.
අනතිරිත්ත නම්: කැප නොකළ දෙයකි; පිළිගැනීම නොකළ දෙයකි; ඔසවා නොදැක්වූ දෙයකි; අත්පසින් පිටත සිටියෙකු විසින් කළ දෙයකි; වළඳා අවසන් නොකළ කෙනෙකු විසින් කළ දෙයකි; වළඳා පවාරිත වූ කෙනෙකු අසුනෙන් නැගිට කළ දෙයකි; ‘මේ සියල්ල ඇති’ යි නොකියන ලද දෙයකි; ගිලනෙකු විසින් ඉතිරි නොකළ දෙයකි. මෙය අනතිරිත්ත නම් වේ.
ඛාදනීය (කෑ යුතු දෑ) නම්: පස් වැදෑරුම් බොජුන් ද, යාමකාලිකය (රාත්‍රියේ අවසන් යාමය දක්වා වැළඳිය හැකි පාන) ද, සත්තාහකාලිකය (සත් දිනක් තබා ගත හැකි ගිතෙල් ආදී පස් වැදෑරුම් බෙහෙත්) ද, යාවජීවිකය (වතුර හැර, ජීවිතාන්තය දක්වා තබා ගත හැකි සෙසු බෙහෙත්) ද හැර ඉතිරි දෑ ඛාදනීය නම් වේ.
භෝජනීය (වැළඳිය යුතු දෑ) නම්: බත්, කොමු, සත්තු (ධාන්‍ය පිටි), මාළු, මස් යන පස් වැදෑරුම් බොජුන් ය.