6. 4. 5.
පළමු පවාරණ ශික්ෂාපදය
1. එකල භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර අනේපිඬු සිටුතුමාගේ ජේතවන නම් ආරාමයෙහි වැඩ වසන සේක. එකල එක්තරා බමුණෙක් භික්ෂූන්ට ආරාධනා කොට වැළඳවීය. වළඳා අවසන් වූ, පවාරණය කරන ලද (බමුණා “ස්වාමීනි, කැමති තරම් ගන්න” යි කී විට තමන් ද “ඇති, ඇවැත්නි” යි තවත් දීම ප්‍රතික්ෂේප කළ) භික්ෂූහු නෑදෑ ගෙවලට ගොස් සමහරු වැළඳූහ. සමහරු පිණ්ඩපාතය රැගෙන ගියහ. එවිට ඒ බමුණා අසල්වැසියන්ට මෙසේ කීය: “පින්වත්නි, මා විසින් ආර්ය භික්ෂූන් සෑහීමට පත් කරන ලදී. එන්න, ඔබලාත් සෑහීමට පත් කරන්නෙමි.” ඔවුහු මෙසේ කීහ: “ආර්ය වූ ඔබ අප සෑහීමට පත් කරන්නේ කෙසේ ද? ඔබ විසින් ආරාධනා කරන ලද යම් භික්ෂූන් වහන්සේලා වෙත් ද, ඔවුහු ද අපගේ ගෙවලට අවුත් සමහරු වැළඳූහ. සමහරු පිණ්ඩපාතය රැගෙන ගියහ.” එවිට ඒ බමුණා හෙළා දකියි, නුගුණ කියයි, දොස් පතුරුවයි: “කෙසේ නම් ස්වාමීන් වහන්සේලා අපගේ ගෙදර වළඳා වෙනත් තැනක වළඳන්නාහු ද? කැමති තරම් දීමට මම සමත් නොවෙම් ද?”
2. හෙළා දකින, නුගුණ කියන, දොස් පතුරුවන ඒ බමුණාගේ (අපකීර්ති වචන) භික්ෂූහු ඇසූහ. යම් ඒ භික්ෂූන් වහන්සේලා අල්පේච්ඡ (ආශා අඩු) වූවෝ ද -පෙ- ඔවුහු හෙළා දකිති, නුගුණ කියති, දොස් පතුරුවති: “කෙසේ නම් භික්ෂූහු වළඳා අවසන් වී, (තවත් දීම) ප්‍රතික්ෂේප කොට, වෙනත් තැනක වළඳන්නාහු ද?” -පෙ- “මහණෙනි, භික්ෂූහු වළඳා අවසන් වී, (තවත් දීම) ප්‍රතික්ෂේප කොට, වෙනත් තැනක වළඳන බව සැබෑ ද?”
“සැබෑ ය, භාග්‍යවතුන් වහන්ස.” භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ගැරහූ සේක -පෙ- “මහණෙනි, හිස් පුරුෂයන් වූ ඒ භික්ෂූහු වළඳා අවසන් වී, (තවත් දීම) ප්‍රතික්ෂේප කොට, වෙනත් තැනක වළඳන්නාහු කෙසේ ද? මහණෙනි, මෙය නොපැහැදුණු අයගේ පැහැදීම පිණිස හෝ නොවේ -පෙ- තව ද මහණෙනි, මේ ශික්ෂාපදය මෙසේ උදෙසිය යුතු ය (ප්‍රකාශ කළ යුතු ය):
“යම් භික්ෂුවක් වළඳා අවසන් කළේ, පවාරණය කළේ (තවත් දීම ප්‍රතික්ෂේප කළේ), කෑ යුතු දෙයක් හෝ වැළඳිය යුතු දෙයක් හෝ කන්නේ නම් හෝ වළඳන්නේ නම් හෝ පාචිත්තිය ඇවැත් වේ.”
මෙසේ භාග්‍යවතුන් වහන්සේ විසින් භික්ෂූන්ට මේ ශික්ෂාපදය පනවන ලදී.
3. එකල භික්ෂූහු ගිලන් භික්ෂූන් සඳහා රසවත් පිණ්ඩපාතය ගෙන යති. ගිලන් භික්ෂූහු සිත් සේ නොවළඳති. ඒවා භික්ෂූහු ඉවත දමති. භාග්‍යවතුන් වහන්සේ රැස් වූ කවුඩන්ගේ උස් හඬ, මහ හඬ ඇසූ සේක. අසා ආයුෂ්මත් ආනන්ද තෙරුන් ඇමතූ සේක: “ආනන්ද, රැස් වූ කවුඩන්ගේ ඒ උස් හඬ, මහ හඬ කුමක් නිසා ද?” එවිට ආයුෂ්මත් ආනන්ද තෙරුන් භාග්‍යවතුන් වහන්සේට ඒ කරුණ දැන්වූහ. “ආනන්ද, භික්ෂූහු ගිලනුන් වළඳා ඉතිරි කළ දෙය වළඳන්නාහු ද?” “භාග්‍යවතුන් වහන්ස, නොවළඳන්නාහ.” එවිට භාග්‍යවතුන් වහන්සේ මේ කරුණෙහිලා, මේ අවස්ථාවෙහිලා ධර්ම කතාවක් කොට භික්ෂූන් ඇමතූ සේක: “මහණෙනි, ගිලනාට ද නොගිලනාට ද ඉතිරි කළ (අතිරිත්ත) දෙය වළඳන්නට අනුමත කරමි. මහණෙනි, අතිරිත්තය මෙසේ කළ යුතුය: ‘මේ සියල්ල ඇති’ යි. තව ද මහණෙනි, මේ ශික්ෂාපදය මෙසේ උදෙසිය යුතු ය (ප්‍රකාශ කළ යුතු ය):
“යම් භික්ෂුවක් වළඳා අවසන් කළේ, පවාරණය කළේ, අතිරිත්ත නොවූ (ඉතිරි කළ දෙයක් ලෙස නොකළ) කෑ යුතු දෙයක් හෝ වැළඳිය යුතු දෙයක් හෝ කන්නේ නම් හෝ වළඳන්නේ නම් හෝ පාචිත්තිය ඇවැත් වේ.”
4. යො පන: යම්, යම් බඳු -පෙ- භික්ඛු -පෙ- මේ අර්ථයෙහි අදහස් කරන ලද භික්ෂුව මොහු ය.
භුත්තාවී (වළඳා අවසන් කළේ) නම්: පස් වැදෑරුම් බොජුන් අතුරෙන් එක් බොජුනක් අඩුම තරමින් කුස තණ අගකින් වුව ද අනුභව කළේ වෙයි.
පවාරිත නම්: වළඳමින් සිටින බව පෙනෙයි. (පවාරණයට සුදුසු) බොජුන පෙනෙයි. (දායකයා) අත් පසෙහි (අත් දෙකහමාරක් පමණ දුරෙහි) සිටියේ වෙයි. (ඔහු බොජුන) ළං කරයි. ප්‍රතික්ෂේප කිරීම පෙනෙයි.
අනතිරිත්ත නම්: කැප නොකළ දෙයකි. (භික්ෂුව විසින්) නොපිළිගත් දෙයකි. (අතිරිත්ත කරවන්නට ආ භික්ෂුව විසින්) නොඔසවන ලද දෙයකි. අත් පසින් බැහැර සිටි කෙනෙකු විසින් කළ දෙයකි. වළඳා අවසන් නොකළ කෙනෙකු විසින් කළ දෙයකි. වළඳා පවාරණය කළ කෙනෙකු අසුනෙන් නැඟිට කළ දෙයකි. ‘මේ සියල්ල ඇති’ යි නොකියන ලද දෙයකි. ගිලනෙකු ඉතිරි කළ දෙයක් නොවේ. මෙය අනතිරිත්ත නම් වේ.
අතිරිත්ත නම්: කැප කළ දෙයකි. (භික්ෂුව විසින්) පිළිගත් දෙයකි. (අතිරිත්ත කරවන්නට ආ භික්ෂුව විසින්) ඔසවන ලද දෙයකි. අත් පසෙහි සිටි කෙනෙකු විසින් කළ දෙයකි. වළඳා අවසන් කළ කෙනෙකු විසින් කළ දෙයකි. වළඳා පවාරණය කළ කෙනෙකු අසුනෙන් නොනැඟිට කළ දෙයකි. ‘මේ සියල්ල ඇති’ යි කියන ලද දෙයකි. ගිලනෙකු ඉතිරි කළ දෙයකි. මෙය අතිරිත්ත නම් වේ.
ඛාදනීය නම්: පස් වැදෑරුම් බොජුන් ද, යාමකාලිකය ද, සත්තාහකාලිකය ද, යාවජීවිකය ද හැර ඉතිරි දෙය ඛාදනීය නම් වේ.
භෝජනීය නම්: බත්, කොමු, සත්තු (අත් සුණු), මාළු, මස් යන පස් වැදෑරුම් බොජුන් ය. කන්නෙමි, වළඳන්නෙමි යි පිළිගනී නම් දුක්කට ඇවැත් වේ. ගිලින ගිලින වාරයක් පාසා පාචිත්තිය ඇවැත් වේ.