6. 4. 4.
කාණමාතා ශික්ෂාපදය
1. ඒ කාලයෙහි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර අනේපිඬු සිටුතුමාගේ ජේතවන නම් ආරාමයෙහි වැඩ වසන සේක. එකල්හි කාණමාතා උපාසිකාව ශ්‍රද්ධාවෙන් යුතු, පැහැදුණු සිත් ඇත්තියක් වූවාය. කාණාව එක්තරා ගමක එක්තරා පුරුෂයෙකුට විවාහ කර දී තිබුණාය. එකල්හි කාණාව කිසියම් කටයුත්තක් සඳහා මවගේ ගෙදරට ගියාය. එවිට කාණාවගේ සැමියා කාණාව වෙත දූතයෙකු එව්වේය: “කාණාව එනු මැනවි. කාණාව පැමිණෙනවාට මම කැමැත්තෙමි” යි. එකල්හි කාණමාතා උපාසිකාව “හිස් අතින් යන්නේ කෙසේද?” යි (ලජ්ජාවක් සේ සිතා) කැවුම් පිසුවාය. කැවුම් පිසූ කල්හි පිණ්ඩපාතයෙහි හැසිරෙන එක්තරා භික්ෂුවක් කාණමාතා උපාසිකාවගේ නිවසට පැමිණියේය.
එවිට කාණමාතා උපාසිකාව ඒ භික්ෂුවට කැවුම් දෙවූවාය. හෙතෙමේ පිටතට ගොස් තවත් භික්ෂුවකට කීවේය. ඔහුට ද කැවුම් දෙවූවාය. හෙතෙමේ ද පිටතට ගොස් තවත් භික්ෂුවකට කීවේය. ඔහුට ද කැවුම් දෙවූවාය. (භික්ෂූන් දුටු ඇය තමා සතු දෙය නොදී සිටීමට නොහැකි වූ බැවින්) පිළියෙළ කළ කැවුම් සියල්ල අවසන් විය. දෙවැනි වතාවට ද කාණාවගේ සැමියා කාණාව වෙත දූතයෙකු එව්වේය: “කාණාව එනු මැනවි. කාණාව පැමිණෙනවාට මම කැමැත්තෙමි” යි. දෙවැනි වතාවට ද කාණමාතා උපාසිකාව “හිස් අතින් යන්නේ කෙසේද?” යි කැවුම් පිසුවාය. කැවුම් පිසූ කල්හි පිණ්ඩපාතයෙහි හැසිරෙන එක්තරා භික්ෂුවක් කාණමාතා උපාසිකාවගේ නිවසට පැමිණියේය. එවිට කාණමාතා උපාසිකාව ඒ භික්ෂුවට කැවුම් දෙවූවාය. හෙතෙමේ පිටතට ගොස් තවත් භික්ෂුවකට කීවේය. ඔහුට ද කැවුම් දෙවූවාය. හෙතෙමේ ද පිටතට ගොස් තවත් භික්ෂුවකට කීවේය. ඔහුට ද කැවුම් දෙවූවාය. පිළියෙළ කළ කැවුම් සියල්ල අවසන් විය. තුන්වැනි වතාවට ද කාණාවගේ සැමියා කාණාව වෙත දූතයෙකු එව්වේය: “කාණාව එනු මැනවි. කාණාව පැමිණෙනවාට මම කැමැත්තෙමි. ඉදින් කාණාව නොපැමිණෙන්නී නම් මම වෙනත් බිරිඳක් ගෙන එන්නෙමි” යි. තුන්වැනි වතාවට ද කාණමාතා උපාසිකාව “හිස් අතින් යන්නේ කෙසේද?” යි කැවුම් පිසුවාය. කැවුම් පිසූ කල්හි පිණ්ඩපාතයෙහි හැසිරෙන එක්තරා භික්ෂුවක් කාණමාතා උපාසිකාවගේ නිවසට පැමිණියේය. එවිට කාණමාතා උපාසිකාව ඒ භික්ෂුවට කැවුම් දෙවූවාය. හෙතෙමේ පිටතට ගොස් තවත් භික්ෂුවකට කීවේය. ඔහුට ද කැවුම් දෙවූවාය. හෙතෙමේ ද පිටතට ගොස් තවත් භික්ෂුවකට කීවේය. ඔහුට ද කැවුම් දෙවූවාය. පිළියෙළ කළ කැවුම් සියල්ල අවසන් විය. එවිට කාණාවගේ සැමියා වෙනත් බිරිඳක් ගෙනාවේය. “ඒ පුරුෂයා විසින් වෙනත් බිරිඳක් ගෙන එන ලදැ” යි කාණාව ඇසුවාය. ඇය හඬමින් සිටියාය.
2. එකල්හි භාග්‍යවතුන් වහන්සේ පෙරවරුවෙහි සිවුරු හැඳ පොරවා පාත්‍රය හා සිවුර ගෙන කාණමාතා උපාසිකාවගේ නිවසට වැඩම කළ සේක. වැඩම කොට පනවන ලද අසුනෙහි වැඩ හුන් සේක. එකල්හි කාණමාතා උපාසිකාව භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණියාය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට ගෞරවයෙන් වැඳ එක් පැත්තක හුන්නාය. එක් පැත්තක හුන් කාණමාතා උපාසිකාවට භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක: “මේ කාණාව කුමක් නිසා හඬන්නීද?” යි. එකල්හි කාණමාතා උපාසිකාව භාග්‍යවතුන් වහන්සේට මේ කරුණ දැනුම් දුන්නාය. එවිට භාග්‍යවතුන් වහන්සේ කාණමාතා උපාසිකාවට ධර්ම කතාවෙන් (මෙලොව පරලොව යහපත) මැනවින් පෙන්වා, (කුසල් දහමෙහි) සමාදන් කරවා, හොඳින් උත්සාහවත් කරවා, සතුටු කරවා, අසුනෙන් නැගිට වැඩම කළ සේක.