6. 4. 3.
පරම්පරභෝජන ශික්ෂාපදය
1. එකල භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ විසාලා නුවර මහා වනයෙහි කූටාගාර ශාලාවෙහි වැඩ වසන සේක. එකල විසාලා නුවර ප්‍රණීත බත් දානවලින් බත් දීමේ පිළිවෙළක් (වාරයෙන් වාරය දන් දීමක්) පිහිටුවා තිබිණ. එවිට එක්තරා දිළිඳු කම්කරුවෙකුට මේ සිත ඇති විය: “මේ මිනිසුන් යම් සේ ගෞරවයෙන් බත් දන් දෙත් ද, මෙය නම් සුළු දෙයක් නොවන්නේ ම ය. මමත් බත් දානයක් දෙන්නේ නම් ඉතා යහපත්” යි. එවිට ඒ දිළිඳු කම්කරුවා කිරපතිකයා (කිර නම් වූ, මාස, ඍතු, අවුරුදු වශයෙන් වැටුප් දී කම්කරුවන් ලවා වැඩ කරවන ප්‍රධානියා) වෙත ගියේ ය. ගොස් ඒ කිරපතිකයාට මෙය කීවේ ය:
“ස්වාමි පුත්‍රය, මම බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ භික්ෂු සංඝයාට බත් දානයක් දෙන්නට කැමැත්තෙමි. මාගේ වැටුප දෙනු මැනවි.” ඒ කිරපතිකයා ද ශ්‍රද්ධාව ඇති, පැහැදුණු කෙනෙක් විය. එවිට ඒ කිරපතිකයා ඒ දිළිඳු කම්කරුවාට අමතර දීමනාවක් ද සහිතව වැටුප දුන්නේ ය. ඉන්පසු ඒ දිළිඳු කම්කරුවා භාග්‍යවතුන් වහන්සේ වෙත ගියේ ය. ගොස් භාග්‍යවතුන් වහන්සේට ආදරයෙන් වැඳ එක් පසෙක හිඳගත්තේ ය. එක් පසෙක හිඳගත් ඒ දිළිඳු කම්කරුවා භාග්‍යවතුන් වහන්සේට මෙය කීවේ ය: “ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, හෙට දිනය සඳහා මාගේ බත් දානය භික්ෂු සංඝයා සමඟ ඉවසා වදාරන (පිළිගන්නා) සේක්වා.” “ඇවැත්නි, භික්ෂු සංඝයා බොහෝ ය, (ඒ ප්‍රමාණය) දැනගනුව.” “ස්වාමීනි, භික්ෂු සංඝයා බොහෝ වේවා. මා විසින් බොහෝ ඩෙබර පිළියෙළ කර ඇත. ඩෙබර මිශ්‍ර කළ ආහාරයෙන් පින්වත් ස්වාමීන් වහන්සේලා සෑහීමට පත් වෙත්වා.” භාග්‍යවතුන් වහන්සේ නිශ්ශබ්දව සිටීමෙන් ඉවසා වදාළ සේක. එවිට ඒ දිළිඳු කම්කරුවා භාග්‍යවතුන් වහන්සේ ඉවසූ බව දැන ආසනයෙන් නැගිට භාග්‍යවතුන් වහන්සේට ආදරයෙන් වැඳ පැදකුණු කොට නික්ම ගියේ ය.
2. ‘ඩෙබර මිශ්‍ර කළ ආහාරයෙන් ආර්යයන් වහන්සේලා සෑහීමට පත් වෙත්වා’ යි හෙට දිනය සඳහා දිළිඳු කම්කරුවා විසින් බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ භික්ෂු සංඝයාට ආරාධනා කරන ලදැ යි භික්ෂූන් ඇසූහ. ඔවුහු කලින්ම පිඬු පිණිස හැසිර වැළඳූහ. දිළිඳු කම්කරුවා විසින් බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ භික්ෂු සංඝයාට ආරාධනා කරන ලදැ යි මිනිසුන් ද ඇසූහ. ඔවුහු කෑ යුතු, වැළඳිය යුතු බොහෝ දෑ ඒ දිළිඳු කම්කරුවා වෙත ගෙන ආහ.
3. ඉන්පසු ඒ දිළිඳු කම්කරුවා ඒ රාත්‍රිය ගෙවුණු පසු ප්‍රණීත කෑ යුතු, වැළඳිය යුතු දෑ පිළියෙළ කරවා භාග්‍යවතුන් වහන්සේට කාලය දන්වා යැවී ය: “ස්වාමීනි, කාලය යි, බත් පිළියෙළ වී නිම විය.” එවිට භාග්‍යවතුන් වහන්සේ පෙරවරුවෙහි හැඳ පෙරවා පාත්‍රය හා සිවුර ගෙන ඒ දිළිඳු කම්කරුවාගේ නිවසට වැඩම කළ සේක. වැඩම කොට පනවන ලද ආසනයෙහි භික්ෂු සංඝයා සමඟ වැඩ හුන් සේක. එවිට ඒ දිළිඳු කම්කරුවා දන්හලෙහි භික්ෂූන්ට දන් බෙදා වළඳවයි. භික්ෂූන් මෙසේ කීහ: “ඇවැත්නි, ටිකක් දෙන්න. ඇවැත්නි, ටිකක් දෙන්න.” “ස්වාමීනි, ඔබවහන්සේලා ‘මොහු දිළිඳු කම්කරුවෙක්’ යි සිතා ටික ටික පිළි නොගනු මැනවි. මා විසින් කෑ යුතු, වැළඳිය යුතු බොහෝ දෑ පිළියෙළ කර ඇත. ස්වාමීනි, කැමති තරම් පිළිගනු මැනවි.” “ඇවැත්නි, අපි මේ කරුණ නිසා ටික ටික පිළිගන්නේ නොවෙමු. අපි කලින්ම පිඬු පිණිස හැසිර වැළඳුවෙමු. එහෙයින් අපි ටික ටික පිළිගනිමු.” එවිට ඒ දිළිඳු කම්කරුවා හෙළා දකියි, නුගුණ කියයි, දොස් පතුරුවයි: “මා විසින් ආරාධනා කරන ලද ස්වාමීන් වහන්සේලා කෙසේ නම් වෙනත් තැනක වළඳන්නෝ ද? මම කැමති තරම් දෙන්නට සමත් නොවෙම් ද?” හෙළා දකින, නුගුණ කියන, දොස් පතුරුවන ඒ දිළිඳු කම්කරුවාගේ (අපකීර්ති වචන) භික්ෂූන් ඇසූහ.